තෙල් ගෑස් නැතිව ජනතාව දුක් විදින කොට, ඉන්ධන ඇති තැන් ගැන දැනගන්න වෙබ් අඩවියකුත්

තෙල් ගෑස් නැතිව ජනතාව දුක් විදින කොට, ඉන්ධන ඇති තැන් ගැන දැනගන්න වෙබ් අඩවියකුත්

ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන සැපයීම පිළිබඳව දැනුවත් විය හැකි වෙබ් අඩවියක් හඳුන්වාදී තිබෙනවා.

ඒ අනුව www.fuel.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ තොරතුරු ලබාගත හැකියි.

මෙම වෙබ් අඩවිය ඔස්සේ තමන්ට අවශ්‍ය ප්‍රදේශයේ අවශ්‍ය ඉන්ධන වර්ගය ලබා ගත හැකිද යන්න පිළිබඳ පරික්ෂා කර ගැනීමට මේ ඔස්සේ පහසුකම් සළසා තිබෙනවා.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), විසින් දියත් කෙරෙන මෙම ඉන්ධන කළමනාකරණ පද්ධතියෙන් දිවයින පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු පිළිබඳ තොරතුරු වඩාත් පහසුවෙන් කළමනාකරණය කිරීමත් එම තොරතුරු මහජනතාවට පහසුවෙන් දැන ගැනීමට ඉඩකඩ සලසාදීමත් අරමුණයි.

එමගින් ඉන්ධන හල් අසල අනවශ්‍ය පෝලිම් ඇතිවීම මෙන්ම පාරිභෝගිකයන්ගේ කාලය ඉතුරු කරගැනීමට ද හැකිවනු ඇති බවයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පෙන්වා දෙන්නේ.

පළමු අදියරේදී, දිනපතා උදෑසන ඉන්ධන පිටත්කර යැවීම පිළිබඳ තොරතුරු, ඉන්ධන පිරවුම්හල් විස්තර, පිටත් කර යවන ලද ඉන්ධන ප්‍රමාණය සහ තොග තිබේද යන තොරතුරු මෙම වෙබ් අඩවිය මගින් යාවත්කාලින කෙරෙනවා.

එම තොරතුරු දැන ගැනීමට fuel.gov.lk වෙබ් අඩවියට පිවිස තමාට ඉන්ධන ලබාගැනීමට බලාපොරොත්තුවන නගරයේ නම ඇතුලත් කල යුතුයි.

එහිදී එම පිරවුම්හලේ ඇති ඉන්ධන වර්ග, ප්‍රමාණය, බවුසරයක් පිටත්වී ඇත්නම් ඒ පිළිබඳ විස්තර ද ලබා ගත හැකියි.

එමෙන්ම ජංගම දුරකතනයක් හරහා SMS මගින්ද ප්‍රවේශ විය හැකි අතර ඒ සඳහා පළමුව වෙබ් අඩවියට පිවිස අදාළ ඉන්ධන පිරවුම් හලෙහි කේත අංකය ලබාගත යුතුය.

SMS මගින් තොරතුරු ලබාගන්නා ආකාරය

1 පියවර – FUEL<හිස්තැනක් >ඉන්ධන පිරවුම්හලේ කේතය> ටයිප් කර අංක 1919 වෙත යැවිය යුතුයි.
2 පියවර – ඉන්ධන ලබා ගැනීමේ හැකියාව පිළිබඳ පහත තොරතුරු ඔබට ලැබෙනු ඇත.
ඉන්ධන පිරවුම් හලේ නම
ඉන්ධන පිරවුම් හලේ දුරකථන අංකය
පවතින ඉන්ධන ධාරිතාව
92 පෙට්‍රල් – (ධාරිතාව)
95 -පෙට්‍රල් (ධාරිතාව)
ඩීසල් (ධාරිතාව)
සුපර් ඩිසල් – (ධාරිතාව)
භූමිතෙල් – (ධාරිතාව)
බවුසරය පිටත්වූ දිනය සහ වේලාව
අවසන් වරට යාවත්කාලීන කළ දිනය සහ වේලාව

මෙම පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ දෙවන අදියරේදී සාමාන්‍ය ජනතාවට ටෝකන් පත් නිකුත් කිරීමට ඉන්ධන පිරවුම්හල්වලට හැකි වනවා.

එමෙන්ම මහජනතාවට තොරතුරු යාවත්කාලීන කිරීමට ද දායක විය හැකිය.

වැඩි විස්තර හා ප්‍රශ්න, පිළිතුරු වෙත පිවිසීමෙන් ලබාගත හැකියි.

මේ අතර ඉන්ධන සහ ගෑස් නොමැති කමින් ප්‍රදේශ රැසක ජනතාව තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා. දින ගණනක සිටම ජනතාව දිවා සහ රාත්‍රි කාලයේදීත් දිගු පෝලිම්වල රැදී සිටින අයුරුද තමවත් විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙනවා.