සහල් ආනයනය කරන්න අවශ්‍ය නෑ – ඇමති මහින්ද

එළඹෙන මාස් කන්නයේදී මෙරටට අවශ්‍ය සම්පූර්ණ සහල් සැපයීමට ප්‍රමාණවත් අස්වැන්නක් ලැබීම හේතුවෙන් ඉන් අනතුරුව සහල් ආනයනය කිරීමට අවශ්‍ය නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
මිල්කෝ සමාගමේ ඊයේ (15) නිරීක්ෂණයට එක්වූ අවස්ථාවේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙවර යල කන්නයේ සහල් තොග ගොඩගැසීම සඳහා රජයේ ගබඩාවල දැනට පවතින සහල් තොග සියල්ල මේ වනවිට වෙළඳපොලට නිකුත් කරමින් සිටින බවයි.
එමෙන්ම රුපියල් 40,000ක් පමණ වන යූරියා පොහොර මිටියක් ගොවීන්ට රුපියල් දස දහසක සහන මිලකට ලබා දීම සඳහා පියවර ගන්නා බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියා.
ඉන්දීය ණය ආධාරය යටතේ ඕමානයේ සිට මෙරටට ගෙන්වන ප්‍රථම යූරියා පොහොර මෙට්‍රික් ටොන් 40,000 මෙම මස අවසන් සතියේදී හෝ ලබන මස මුල් සතියේදී මෙරටට ලැබීමට නියමිතයි.
මේ අතර, චීන ආධාර යටතේ ලබා දෙන යුවාන් මිලියන 500 ක් වටිනා සහල් තොගය කාණ්ඩ 6 ක් යටතේ මෙරටට ලබා දෙන බව චීන තානාපති කාර්යාලය නිවේදනය කරනවා.
ඒ අනුව එහි පළමු සහල් තොගය ලබන 25 සහ 30 යන දිනවලදී කොළඹ වරායට ලැබීමට නියමිතයි.

