කිසිවෙකු බඩගින්නේ තියන් නෑ – අගමැති

ආහාර අර්බුදය හමුවේ කිසිවෙකු බඩගින්නේ නොතැබීම තමාගේ ප්‍රතිපත්තිය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අද පෙරවරුවේ ආහාර සුරක්ෂිතතතාව පිළිබඳව වූ කමිටුව අගමැති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදී අගමැතිවරයා ප්‍රකාශ කළේ, ඉදිරි කාලයේදී ලාංකීය ජනගහනයෙන් ලක්ෂ 40 ත් 50 ත් අතර පිරිසකට මෙම ආහාර අර්බුදය සෘජුව බලපෑ හැකි වුවත් එය පාලනය කර ගැනීමට අවශ්‍ය කටයුතු සකස් කරන බව ය.
මෙහිදී විශේෂයෙන් ම කුඩා දරුවන් සහ වැඩිහිටියන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන මෙන් අගමැතිවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.
මෙම ආහාර අර්බුදයට සාර්ථකව මුහුණදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන ලෙස ත්, එයට අමාත්‍ය නිමල් සිරිපාල, ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ජනාධිපති කාර්යාලය, මුදල් අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, යුද හමුදාව, පෞද්ගලික අංශය ඇතුළු අදාළ ආයතනවල නියෝජිතයින් එක් කරන ලෙස ත් අගමැතිවරයා දන්වා සිටියේය.
මෙම කමිටුව විසින් සකස් කරන ලද සැලසුම සති 02 ක් තුළ තමාට අවශ්‍ය බව ත්, අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.
ආහාර සුරක්ෂිතතා වැඩසටහන යටතේ දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 336 සංවර්ධනය කර ඉලක්ක කරා ගෙන යාමට නායකත්වය සැපයීම සඳහා කොට්ඨාස 225ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ඉතිරි කොටස අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ඉහළ නිලධාරීන්ටත්, පෞද්ගලික අංශයටත් භාර දිය යුතු බව අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම සාකච්ඡාව සඳහා මහින්ද අමරවීර, නලින් ප්‍රනාන්දු , රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන් සමග හිටපු අමාත්‍ය සාගල රත්නායක, තිස්ස අත්තනායක, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, පී. දිගම්බරම්, රිෂාඩ් බදුර්දීන් යන පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

