සිංහයන් කැන්ගරුවන් දණගස්වයි

සංචාරක ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සමඟ ඊයේ (21) පැවති සිවු වැනි එක්දින තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම සතු වුණා. ඒ ලකුණු 5කින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කරමින්.
මේ සමගම තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලි ජයග්‍රහණය සතු කර ගන්නටත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
ලකුණු 259ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කරගත්තේ ලකුණු 254ක් පමණ යි.
ශ්‍රී ලංකා කණ්ඩායමක් ඔස්ට්‍රෙලියානු කණ්ඩායමක් නොකඩවා තරග 3ක දී පරාජය කරනු ලැබුවේ පළමු වරට යි.
මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රෙලියානු කණ්ඩායමක් නොකඩවා තරඟ දෙකකදී ශ්‍රී ලංකාවේදී පරාජය කරනු ලැබුවේ අදින් වසර 30ට පෙර සිදු කෙරුණු ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය තුළ දී.
1992 දී පැවති එම තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළේ තරඟ දෙකට එකක් වශයෙන්.
ඔස්ට්‍රෙලියානු කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ඔහුගේ 19 වැනි එක්දින ශතකය ට එක් ලකුණක් අඩුව තිබියදී දැවී ගියා.
වෝනර් ධනංජය ද සිල්වා ගේ පන්දුවකට පහරදීමට සීමා ඉරෙන් පිටතට පැමිණි ඇසිල්ලෙන් දක්ෂ ලෙස කඩුල්ල බිඳ දැමූ නිරෝෂන් දික්වැල්ල ඔහු ගේ ඉනිම සීමා කළේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණ බලාපොරොත්තු ඉහළ දමමින්.
ඩේවිඩ් වෝනර් මෙම ලකුණු 99 තුළ හතරේ පහර 12 ක් අන්තර්ගත කර තිබුණා.
මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු ඕවර 50 තුළදී සියළු දෙනා දැවී ලකුණු 258 ලබා ගත්තා.
ඒ මෙම තරගාවලිය තුළ දී නොකඩවා හත් වන වතාවටත් කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රෙලියානු කණ්ඩායම් නායකයා ශ්‍රී ලංකා කණ්ඩායමට පළමුව පන්දුවට පහර දිම සඳහා කළ ආරාධනයෙන්.
කෙසේ වෙතත් ඔහුගේ තීරණයට ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ ඉදිරිපෙළ පන්දු යවන්නන් සාධාරණය ඉටු කළේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු තුනම ලකුණු 34 ක් වෙද්දි බිඳ දමමින්.
ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ ලකුණුු 34 ක් සටහන් වෙද්දී ආරම්භක පිතිකරුවන් වන නිරෝෂන් දික්වැල්ල සහ පසුගිය තරගයේදි ශතකයක් රැස් කර ගත් පැතුම් නිශ්සංක දෙදෙනාම ක්‍රීඩාගාරයේ ප්‍රේක්ෂකයින් බවට පත්වී සිටියා.
ලකුණු 34කට කඩුලු 3ක් බිඳ වැටී ශ්‍රී ලංකා කණ්ඩායම යම් අසීරු තත්ත්වයකට වැටී සිටියදී පිටියේ එක්වූ ධනංජය ද සිල්වා සහ චරිත් අසලංක දෙදෙනා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ස්ථාවර නමුත් වේගවත් පිතිහරඹයක නිරත වුණා.
මේ දෙදෙනා අතර සිව්වන කඩුල්ල සඳහා පන්දු ඕවර විස්සයි පන්දු දෙකක් තුළදී ලකුණු 101 සම්බන්ධතාවක් ගොඩ නැගුණා.
එය බිඳ වැටුනේ මිච් මාෂ් ගේ පන්දුවක් හමුවේ ග්ලෙන් මැක්ස්වෙල් රැක ගත් අගනා උඩ පන්දුවක් හේතුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 60 කට දැවී යාමත් සමඟයි.
ධනංජය ලකුණු 60 රැස්කර ගැනීම සඳහා පන්දු 61ට මුහුණ දුන් අතර හතරේ පහර හතක් ඔහුගේ ඉනිමට අන්තර්ගත වී තිබුණා.
අනිත් අන්තයේ කඩුල්ල රැක ගනිමින් අගනා පිතිහරඹයක නිරත වූ චරිත් අසලංක ඔහුගේ මංගල එක්දින ශතකය රැස් කර ගන්නට සමත් වුණා.
ඔහුගේ ශතකය සඳහා ඔහු වැය කළේ පන්දු 99ක් පමණයි.
අනතුරුව දසුන් ශානක දුවද්දී දැවී යාමකට හසුවූ අතර දුනිත් වෙල්ලාලගේ චරිත් අසලංකට යම්කිසි සහයෝගයක් ලබා දෙමින් සිටියදී ලකුණු 19කට දැවී ගියා.
චාමික කරුණාරත්න ලකුණු හතක් ලබා සිටියදී දැවී ගියා.
ආබාධයකට ලක්ව පළමු තරග දෙකම අහිමි වී සිටී වනිදු හසරංග චරිත් අසලංක සමග එකතුවෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු සංඛ්‍යාව වේගයෙන් ඉහළ දමන්නට සමත් වුණා.
තරගයේ 47 වැනි ඕවරයේ සිව්වෙනි පන්දුවට චරිත් අසලංක දැවී ගියේ ඔහු ලකුණු 110 ක් ලබා සිටියදී.
ඒ පැට් කමින්ස්ගේ පන්දුවක් හමුවේ ආරොන් ෆින්ච් රැක ගත් අගනා උඩපන්දුවක් හේතුවෙන්.
තරගයේ අවසන් පන්දුවාර කිීපයදී නැවතත් පාලනය අතට ගත් ඔස්ට්‍රෙලියානු පන්දු යවන්නන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුපෙළ කඩුලු දෙකක් ම ලකුණු නොදී දවා ගන්නට සමත් වුණා.
ඒ අනුව ජෙෆ්රි වැන්ඩසේ සහ මහීෂ් තීක්ෂන දැවී ගියේ ලකුණු ලබා ගන්නට පෙරයි.
වනිදු හසරංග පන්දු 20 කදී නොදැවී ලකුණු 21 ක් රැස්කර ගත්තා.
පන්දු යැවීමේදී මිච් මාෂ්, පැට් කමින්ස්, සහ මැතිව් කුහේන්මන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.
තරගයේ වීරයා සම්මානය දිනාගත්තේ, සිය මංගල ශතකය වාර්තා කළ චරිත් අසලංක යි.



