රටේ මත්පැන් ඉල්ලුම 30%කින් පහළට

රට තුළ මෑත කාලීනව මත්පැන් මිල වැඩි වීම සහ රටේ ජනතාවගේ ආදායම් අඩු වීම හේතුවෙන් මත්පැන් ඉල්ලුම 30%කින් පමණ අඩු වී ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.
මේ පිළිබඳ අනාවරණය වූයේ, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී අනුර ප්රියදර්ශන යාපා මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය දා (ජූනි 20) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.
විශේෂයෙන් ම, රාජ්ය ආදායම වැඩි කර ගැනීමට සකස් කොට ඇති සැලසුම් හා ඒවායේ වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්රතිපත්ති පිළිබඳ අමාත්යංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සහ ශ්රී ලංකා රේගුව නියෝජනය කරන නිලධාරීන් මාර්ග ගත ක්රමය ඔස්සේ සම්බන්ධ කර ගෙන ඇත.
මෙහිදී ශ්රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව ඉලක්කගත ආදායමට ළඟා වීමේදී ගැටලු කිහිපයක් ඇති වී තිබෙන බව ත් මත්පැන් නිෂ්පාදනය කිරීමට ඇති එතනෝල් ප්රමාණය සීමාසහිත වීම, ඩීසල් සහ දැවි තෙල් සීමාසහිත වීම සහ බෙදා හැරීමේදී ඇති ගැටලු මීට හේතු වී ඇති බව ත් මෙම නිලධාරීන් සඳහන් කළේ ය.
එමෙන් ම, මත්පැන් මිල වැඩි වීම සහ ජනතාවට ආර්ථික අපහසුතා පැවතීම යන කරුණු නිසා මත්පැන් ඉල්ලුම 30%කින් පමණ අඩු වී ඇති බව ද ඔවුහු පෙන්වා දුන්හ.
මේ හේතුවෙන් නීති විරෝධී මත් පැන් නිෂ්පාදනය වැඩි වීමේ ප්රවනතාවක් මේ වන විට ඇති වී තිබෙන බව අනාවරණය විය.
එසේ ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අපේක්ෂිත අදායම් සහ වර්තමාන තත්ත්වය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇත.

