කොළඹ සහ ප්‍රධාන නගරවල පිහිටි පාසල් ලබන සතියේත් වැසේ

කොළඹ සහ ප්‍රධාන නගරවල පිහිටි පාසල් ලබන සතියේත් වැසේ

පවතින ඉන්ධන අර්බුදය හමුවේ ලබන සතිය තුලත් පාසල් නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා.

පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා නගරබද ජාතික පාසල් විදුහල්පතිවරුන් සමඟ පැවැති සාකච්ඡාවෙන් පසුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2022 ජුනි 27 සිට ජූලි 01 දක්වා වූ සතිය තුළ පාසල් පවත්වන ආකාරය පිළිබදව මාධ්‍ය නිවේදනයක් මගින් දැනුම් දී තිබුණා.

කෙසේවෙතත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් ජුනි 27 දිනෙන් ආරම්භ වන සතිය තුළ දිවයිනේ ඉන්ධන බෙදාහැරීම සාමාන්‍ය පරිදි සිදු කිරීමට නොහැකි බවට දන්වා ඇති බැවින් 27 සිට ජුලි 01 දක්වා සතිය තුල පාසල් පවත්වාගෙන යාම පිළිබදව යම් ගැටලුකාරි තත්වයක් පවතින බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ.

එබැවින් නිසා බස්නාහිර පළාතේ කොළඹ කලාපය සහ ආසන්න නගර ආශ්‍රිතව ඇති පාසල් සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් හෙට (27) සිට ජුලි 01 දක්වා සතිය තුල පසුගිය සතියේ මෙන් පාසල් නොපැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

එමෙන්ම 2022 ජුනි 27 සිට ජූලි 01 දක්වා වන සතිය තුල පසු ගිය සතියේ ග්‍රාමීය පාසල් පැවැත් වූ ආකාරයටම සිසුනට සහ ගුරුවරුන්ට ප්‍රවාහන අපහසුතාවයක් නොපවතින්නේ නම්, අඟහරුවාදා බදාදා සහ බ්‍රහස්පතින්දා දිනයන් හි පාසල් පැවැත්වීමට කටයුතු කරන ලෙස දැනුම් දෙනවා.

එමෙන්ම ප්‍රවාහන අපහසුතා හේතුවෙන් මෙම දිනයන්හි පාසලට නොපැමිණෙන ගුරුවරුන් සඳහා පෞද්ගලික නිවාඩු ලෙස සටහන් නොකරන ලෙස ද මේ වන විටත් දැනුම් දී තිබෙනවා.

එහෙත් එම සතිය තුළ පාසල් පවත්වාගෙන යාම පිළිබඳ යම් ගැටලුකාරි තත්වයක් පවතින්නේ නම් පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් විසින් පළාතේ ගරු ආණ්ඩුකාරවරුන් දැනුවත් කර එම තීරණයට අනුව කටයුතු කරන ලෙසටයි දැනුම් දී ඇත්තේ.

2022 ජුනි 27 දිනෙන් ආරම්භ වන සතිය තුළ අ.පො.ස උසස් පෙළ සඳහා වාර පරීක්ෂණ පැවැත්වීමට සූදානම් කර ඇත්නම් එම වාර පරීක්ෂණ සති දෙකකින් පසු පැවැත්වීමට කටයුතු කරන ලෙස ද අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙනවා.