අත්‍යවශ්‍ය මහජන සේවා ගැන අතිවිශේෂ ගැසට් නිවේදනයක් එළියට

අත්‍යවශ්‍ය මහජන සේවා පනත සම්බන්ධයෙන් පැවරී ඇති ජනාධිපති බලතල ප්‍රකාරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව විදුලිබල සැපයීම සම්බන්ධව සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නවත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවා, වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවා බවට පත්කර තිබෙනවා.
ඒ අනුව එම සේවා යටතේ ඇති ඕනෑම රාජ්‍ය සංස්ථාවකින් හෝ රජයේ දෙපාර්තමේන්තුවකින් හෝ පළාත් පාලන ආයතනයකින් හෝ සමූපාකාර සමිතියකින් හෝ ඒවායෙහි ශාඛාවකින් සපයනු ලබන සේවාවන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන බවටයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

