ජනපති ඉදිරියේ මන්ත්‍රීවරුන් “Go Home Gota” කියා කෑගසයි

ජනපති ඉදිරියේ මන්ත්‍රීවරුන් “Go Home Gota” කියා කෑගසයි

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (05) පාර්ලිමේන්තු සැසිවාරය සඳහා හදිසියේ පැමිණ තිබෙනවා. ඒ පූර්ව දැනුම් දීමකින් තොරවයි.

ජනාධිපතිවරයා මින් පෙර අවසාන වතාවට පාර්ලිමේන්තුවට වාර්තා කළේ ඉකුත් අප්‍රෙල් 7 වැනි දායි.

මේ අතර ඊයේ පාර්ලිමේන්තුවේ දී සභාව අමතිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විමසා සිටියේ ජනාධිපතිවරයා සිටියට ඇහැට පෙනෙන්නටවත් නොමැති බවයි.

කෙසේ නමුත් අද පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අසළ අසුන්ගෙන සිටියා.

තව ද හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද අද(05) කලකට පසු පාර්ලිමේන්තුවට පැමිණ සිටියා.

අද(05) පාර්ලිමේන්තුවට අග්‍රාමාත්‍යවරයා විසින් රට ඇද වැටී තිබෙන තත්ත්වයට රජයේ විසඳුම් පිළිබඳව ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට කටයුතු කළ අතර එම ප්‍රකාශයට බාධා කරමින් මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට ගෙදර යන ලෙස (ගෝඨා ගෝ හෝම්) කියමින් කෑ ගහනු පෙනෙන්නට තිබුණා.

එම විරෝධතා දෙස ජනාධිපතිවරයා සිනා මුසු මුහුණින් බලා සිටිනු ද දක්නට ලැබුණා.

කෙසේ නමුත් මන්ත්‍රීවරුන්ගේ කෑ ගැසීම් නිසාවෙන් පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබීමට කතානායකවරයා තීරණය කළා.

පාර්ලිමේන්තුව විනාඩි දහයකට පසු නැවත රැස් වූ අතර ජනාධිපතිවරයා සභා ගර්භයේ සිටියේ නැත.