“රොඳ බඳිමු – පන්නමු” – අද රටම කොළඹට

පවතින ආර්ථික, දේශපාලනික සහ සමාජීය අර්බුදවලට විසඳුම් සෙවීම හා එම අර්බුද නිර්මාණය කිරීමේ වරදකරු වූ වත්මන් ආණ්ඩුවට වහාම ඉල්ලා අස්වෙන ලෙස බල කරමින්, නන් දෙසින් ජනතාව වීදි බැසීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද (09) දිනයේ දී ”රොඳ බඳිමු – පන්නමු” යන තේමා පාඨය මුල් කර ගනිමින්, දිවයිනේ සියලුම ප්‍රදේශවලින් මහජනතාව කොළඹට පැමිණීමට සූදානම්ව ඇති අතර, ඊට බලපෑම් කණ්ඩායම්වල ද පූර්ණ සහාය හිමිව තිබෙනවා.
ඊයේ දිනයේදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ජූලි 09 මහජන අරගලය වෙනුවෙන් පළමු අරගල උණ්ඩය පත්තු කළ අතර, ඔවුන් කැළණිය විශ්වවිද්‍යාලය අසල සිට ගෝල්ෆේස් දක්වා උද්ඝෝෂණ පාඨ කියමින් පා ගමනක නිරත වුණා.
ඊට පොලිසිය හා යුද හමුදාව එක්ව අරගලකරුවන් විසුරුවා හැරීමට කඳුලු ගෑස් එල්ල කිරීම ද සිදු වුණා.
මේ අතර, අද දිනයේ රට තුළ ඇරඹෙන මහජන අරගලය ගැන ශ්‍රී ලංකා ඇමරිකානු තානාපතිනිය ජූලි චන්ග් විසින් ද ට්විටර් පණිවිඩයක් සටහන් කර තිබුණා.
ඒ කිසිදු ලෙසකින් අර්බුද විසඳීම උදෙසා ප්රචණ්ඩත්වය ඇති නොකරන ලෙසටත්, අරගල කරන්නේ නම්, සාමකාමීව එය කිරීමට සියලුදෙනා වගබලාගත යුතු බවයි.
එමෙන්ම සාමකාමී උද්ඝෝෂණවලට රටක් තුළ ඉඩක් ඇති බවත් සාමකාමී විරෝධතාකරුවන් ආරක්ෂා කිරීමට පොලිසිය හා හමුදාව සතු වගකීමක් බවත් ඇය ප්‍රකාශ කර සිටිනවා.
අද පැවැත්වෙන මහජන අරගලයට ප්‍රබල දේශපාලන පක්ෂ කිහිපයක ද සහාය හිමිව ඇති බව දක්නට ලැබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පැවසුවේ, සාමකාමී අරගලවලට සිය පක්ෂයේ ද සහාය හිමිවන බවයි.
එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ සහාය ද මෙම අරගලයට හිමිව තිබෙනවා.
මේ අතර, ඊයේ දිනයේදී වීදි බැස ගෝල්ෆේස් වෙත පැමිණෙන්නට උත්සාහ කළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයින් මේ වනවිට තවමත් කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය අසල රැඳී සිටින බවයි වාර්තා වන්නේ.


