ජනපති මැදුර පිනවූ පියානෝ නාදය (වීඩියෝ)

දින 100කට ආසන්න කාලයක් පුරාවට ගෝල්ෆේස් පිටිය ගම්මානයක් බවට පත් කරගනිමින්, රටේ අර්බුදයන්ට වහාම විසඳුම් ලබාදෙන ලෙස සහ වත්මන් රජය බලයෙන් ඉවත් වන ලෙසට බල කරමින් විරෝධතා රැල්ලක් ආරම්භ කෙරුණා.
එම විරෝධතාවය ආරම්භ වූ මොහොතේ පටන් ගෝල්ෆේස් අරගලකරුවන් විසින් පොලිසිය ජනාධිපති ලේකම් කාර්යාලයට අරගලකරුවන් ඇතුළුවීමට වැළැක්වීම සඳහා හරස් කර තිබූ මාර්ග බාධකය (බැරියර්) තීරුව ඊයේ (09) උදෑසන වන තෙක් එම ස්ථානයේ තිබුණු අයුරු දැකිය හැකියි.
එම බැරියර් මත හිඳිමිනුයි ඊයේ වනතෙක් ගෝල්ෆේස් අරගලකරුවන් ජනපති ලේකම් කාර්යාලය අභියසදී විරෝධතාව අඛණ්ඩව දින 92ක් පුරාවට පැවැත්වූයේ.
එහෙත් සුවිශේෂී සිදුවීම වන්නේ, ආරක්ෂක අංශ යොදා නවතා තිබූ එම බැරියර් සියල්ලම ඊයේ සිදු වූ විරෝධතාව සහ ජනතාව විසින් ජනපති මැදුර ජන අණසකට නතු කරගැනීමත් සමග ඉවත් වී තිබෙනවා.
එමෙන්ම ජනාධිපති නිල මන්දිරය ඉදිරිපිට ද යොදා තිබූ ආරක්ෂක මාර්ග බාධක වළල්ල බිඳ දමා ඇති අයුරුයි මේ වනවිට දක්නට ලැබෙන්නේ.
ඒ අනුව සම්පූර්ණ සිවිල් බලයක් රාජ්ය නායකත්වය යටපත් කරගනිමින් එල්ල වී තිබෙන බව දැකිය හැකියි.
මේ අතර ඊයේ දහවල් කාලය වන විට හමුදා උණ්ඩවලට බිය නොවී ඉදිරියටම ඇදුණු ජන අරගලකරුවන් ජනපති මැදුරට ඇතුල් වී එය අත්පත් කරගැනීමත් සමග එහි වෙනස්කම් රැසක් සිදු වන්නට ගත වූයේ තත්පර කිහිපයයි.
ඇතැමුන් ජනපති මැදුරේ ආලින්දයේ තිබූ පියානෝව වාදනය කරමින් සිය නිදහස සහ ජයග්රහණය භුක්ති විඳි අයුරු ද දක්නට ලැබුණා.

