අරගලකරුවන් ජනපති මැදුරේ තිබී හමු වූ මුදල් කොටුව පොලිස් ස්ථානය වෙත භාරදෙයි (වීඩියෝ)

අරගලකරුවන් ජනපති මැදුරේ තිබී හමු වූ මුදල් කොටුව පොලිස් ස්ථානය වෙත භාරදෙයි (වීඩියෝ)

ඊයේ (09) කොටුව ජනාධිපති මන්දිරයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පරිහරණය කරන ලද බවට සැලකෙන කාමරයක තිබී අරගලකරුවන්ට හමු වූ රුපියල් එක්කෝටි හැත්තෑ අටලක්ෂ පනස්දහසකට අධික මුදල අරගලකරුවන් විසින්ම ගණන් කර ඒ අවස්ථාවේ කොටුව ජනාධිපති මන්දිරයේ රාජකාරියේ නිරතව සිටි විශේෂ කාර්ය බළකායේ පොලිස් අධිකාරීවරයෙකුට භාර දී තිබෙනවා.

එහිදී එම පොලිස් අධිකාරීවරයා පවසා ඇත්තේ එම මුදල් කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට භාරදෙන ලෙසයි.

පසුව එහි පැමිණි කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා එම මුදල භාරගෙන එම මුදල සොයාගත් සහ ගණන් කිරීමට සහාය වූ පස් දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගෙන එම මුදල කොටුව පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඉන් අනතුරුව කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දූරකථන ඇමතුමක් ලබා දී පවසා ඇත්තේ එම මුදල නීතිය හා සාමය භාර අමාත්‍ය ටිරාන් අලස් වෙත භාරදෙන ලෙසයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කොටුව පොලිස් ස්ථානාධිපති සාගර ලියනගේ පොලිස්පති සී.ඩී වික්‍රමරත්නගෙන් සිදුකළ විමසීමක දී පොලිස්පතිවරයා පවසා ඇත්තේ එම මුදල කිසිවකුටත් භාර නොදී පොලිසිය භාරයේ තබා ගන්නා ලෙසයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මෙම තත්ත්වය පැහැදිලි කර මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් ඉල්ලා සිටිනවා.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්…

……
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා,
පොලිස් මාධ්‍ය ප්‍රකාශක,
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය,
කොළඹ.

මාධ්‍ය ප්‍රකාශකතුමනි,

ජනාධිපති මන්දිරයේ තිබී අරගලකරුවන් පොලිසියට බාර දුන් මුදල් ගැනයි.

ජනාධිපති මන්දිරයේ ගෝඨාභය රාජපක්ෂ භාවිත කළ කාමරයක සඟවා තිබුණු බව කියන රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ පනස් දහසකට ආසන්න මුදලක් අරගලකරුවන් පිරිසක් විසින් ගණන් කර පොලිසිය බාර දෙනු ලැබ ඇත.

එය බාර ගත් පොලිස් අධිකාරීවරයා විසින් එම මුදල කොටුව පොලිස් ස්ථානාධිපතිට බාර සෙනු ලැබ ඇති අතර මේ වන විය එය කොටුව ස්ථානාධිපතිගේ බාරයේ තිබේ.

එම මුදල දේශපාලනඥයකුට බාර දෙන ලෙස උසස්ම පොලිස් නිලධාරියෙකු දැනුම් දුන් බවටද පොලිසිය අභ්‍යන්තරයේ සාකච්ඡාවෙන අතර එහි සත්‍ය අසත්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නැත.

කෙසේ වෙතත් මීට පෙර මැයි 09 වැනිදා ගාලුමුවදොර ගෝඨාගෝගමට සහ මයිනාගෝගමට පහරදීමෙන් පසු රට පුරා දේශපාලනඥයන්ගේ නිවාසවලින් අරගලකරුවන් බඩු සොරා ගත් බවටත්, දිගින් දිගටම අරගලයට එරෙහිවත් ශ්‍රී ලංකා පොලිසිය මාධ්‍ය නිවේදන දැමූ තත්ත්වයක මෙලෙස මුදල් බාරදීම ගැන මෙතෙක් මාධ්‍ය නිවේදනයක් පළ කර නැත.

එසේ හෙයින් අරගලකරුවන් විසින් සොයා ගන්නා ලද මුදල් පොලිසියට බාරදීම ගැන මාධ්‍ය නිවේදනයක් පළ කරන ලෙසත්, ඔවුන්ට හිමි ගෞරවය ලබා දෙන ලෙසත් ඉල්ලා සිටිමු

ස්තුතියි.

තරිඳු ජයවර්ධන
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන්