ගෝඨාභය රටින් පිටවෙලා නෑ, මට වැරදිලා කියවුණේ – කථානායක

ගෝඨාභය රටින් පිටවෙලා නෑ, මට වැරදිලා කියවුණේ – කථානායක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනෙන් බැහැරව ගිය බවට තමන් බීබීසී ලෝක සේවාවට පවසා සිටියේ වැරදීමකින් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

ඔහු මේ අදහස් පළ කර සිටියේ ඉන්දීය ජාත්‍යන්තර පුවත් සේවාවක් වන ANI පුවත් සේවය වෙත දුරකථනය ඔස්සේ අදහස් දක්වමින්.

එහි දී ඔහු කියා සිටියේ “ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තවමත් රට තුළ සිටින අතර, (බීබීසී) සම්මුඛ සාකච්ඡාවේදී මට වැරදීමක් සිදු විය” යනුවෙනුයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනෙන් පිටව ගොස් ඇති බවත්, ඔහු සිටින්නේ ආසන්න රටක බවත්, බදාදා වන විට ඔහු යළි දිවයිනට පැමිණෙන බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ බීබීසීයට පවසා තිබුනා.

කෙසේ වෙතත් මාධ්‍ය වාර්තා පළ වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මුහුදු මාර්ග ඔස්සේ ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුර වෙත පිටත්ව ගොස් ඇති බවයි.

ත්‍රීකුණාමලය නාවික හමුදා කඳවුරේ ජනාධිපතිවරයාත් සමඟ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද සිටින බවයි වාර්තා වෙන්නේ.