අගමැතිවරයා වහාම ඉල්ලා අස්වී කතානායකවරයාට රට භාර දෙන්න

අගමැතිවරයා වහාම ඉල්ලා අස්වී කතානායකවරයාට රට භාර දෙන්න

අගමැතිවරයා වහා ම සිය ධූරයෙන් ඉල්ලා අස් වී සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කතානායකවරයාට රට භාර දෙන ලෙස ආණ්ඩුවේ ස්වාධීන පක්ෂ එකමුතුව ඉල්ලීමක් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ, ජූලි 9 දින කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ පක්ෂ නායකයින් ඒකමතිකව ඉල්ලා සිටි පරිදි අගමැතිවරයා ඉවත් වීමට කටයුතු නොකිරීමෙන් රට තුළ ව්‍යාකූල තත්වයක් පැන නැගී ඇති බව ය.

එමෙන් ම, එකී තත්ත්වය ප්‍රචණ්ඩත්වයක් කරා වර්ධනය වෙමින් පවතින බව ත් තමන් නිරීක්ෂණය කරන බව ත් එහි ප්‍රතිඵලයක් ලෙස අරගලකරුවන් විසින් අගමැති කාර්යාලය අත්පත් කරගනු ලැබ ඇති බව ත් එම නිවේදනයේ දැක්වේ.

ඇතැම් පිරිස් අද සවස්භාගයේ සිට පාර්ලිමේන්තුව වට කිරිමට ද උත්සාහ කරන බව දැනගන්නට ඇති බව ත් ඒ කුමන අරමුණක් ඉටුකර ගැනීමට දැයි අප්‍රකාශිත බව ත් එහි සඳහන් ය.

එම නිවේදනයේ මෙසේ ද දැක්වෙයි.

“පාර්ලිමේන්තුව යනු, ජනතා පරමාධිපත්‍යයේ ද ප්‍රජාතන්ත්‍රවාදයේ ද මුදුන් මල්කඩයි. පාර්ලිමේන්තුවේ පැවැත්මට එල්ල කරන තර්ජනය ජනතා පරමාධිපත්‍යයට ද ප්‍රජාතන්ත්‍රවාදයට ද එල්ල කරන මරු පහරක් ලෙස අපි දකිමු. පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධා කිරීම යනු ජූලි 20 දින පැවැත්වීමට නියමිත නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමට ද ඒ හරහා රට යළි සාමකාමී කිරීමට ද එල්ල කරන බාධාවකි.

එමෙන් ම, පවතින ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර හාය ලබා ගැනීමේ දී ද ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම තීරණාත්මක සාධකයකි.

එබැවින් ප්‍රජාතන්ත්‍රවාදය ද පාර්ලිමේන්තුව ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ද රැක ගැනීම ආණ්ඩුවේ ද ආරක්ෂක හමුදාවන්ගේ ද සියලු ම දේශපාලන පක්ෂවල ද බහුජන සංවිධාන හා අරගලකරුවන්ගේ ද පරම යුතුකම බව අපි තරයේ අවධාරණය කරමු.

අරාජිකත්වය සහ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව මානව ආපදාවක් කරා ශීඝ්‍රයෙන් ගමන් කරමින් පවතියි.

ආර්ථික අර්බුදය මානව ආපදාවක් බවට පත් කිරීමෙන් විදේශ හමුදාවන්ට මෙරටට පැමිණීමට දොරටු විවෘත විය හැක.

එබැවින් ලංකාව දකුණු ආසියාවේ ලිබියාව බවට පත් නොකිරීමට අත්වැල් බැඳ ගන්නා මෙන් අපි සමස්ත ජාතියට ආයාචනය කරමු.”