රනිල් ගාලු මුවදොරින් වැඩ අල්ලයි

රනිල් ගාලු මුවදොරින් වැඩ අල්ලයි

අද (22) අළුයම 12.30 ට පමණ කොළඹ ගාලු මුවදොර ක්‍රියාත්මක වන අරගලය විරෝධතා භූමියට ආරක්ෂක අංශ ඇතුළු වී තිබෙනවා.

ගාලුමුවදොර අරගල භූමියට ඇතුළු වන සියලු මාර්ග, මාර්ග බාධක යොදා අවහිර කරමින් මෙලෙස අරගල භූමියට පිවිස ඇත්තේ ශ්‍රී ලංකා පොලීසිය, යුද හමුදාව සහ ගුවන් හමුදාවයි.

මෙලෙස අරගල භූමියට පිවිසි ආරක්ෂක අංශ විසින් මෙතෙක් ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වන ප්‍රධාන පිවිසුම අවහිර කරමින් ඉදිකර තිබූ අට්ටාලය සහ මාර්ග බාධකය අත්පත් කරගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ වන විට මෙතෙක් කලක් අරගලකරුවන් විසින් අත්පත් කරගෙන සිටි ජනාධිපති ලේකම් කාර්යාලයේ පාලනය ද ආරක්ෂක හමුදා සතුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී මාධ්‍යවේදීන් තිදෙනකුට සහ නීතිඥයන් පිරිසකට ද ආරක්ෂක අංශ විසින් පහර දී තිබෙනවා.

මෙහිදී ගැටුම්වලට මැදි වූ පුද්ගලයින් 8 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විට ගාලුමුවදොර අරගල භූමියට පිවිසෙන සියලු මාර්ග, මාර්ග බාධක යොදා අවහිර කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසන්නේ රජය විසින් වහාම මෙම මර්දනකාරී පිළිවෙත අත්හල යුතු බවයි.

එමෙන්ම නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් වහාම නිදහස් කරන ලෙසත් ජනමාධ්‍යවේදීන්ට ඔවුන්ගේ රාජකාරිය ඉටු කිරීමට අවශ්‍ය පසුබිම වහාම සකසන ලෙසත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙම ආරක්ෂක අංශ මැදිහත් වීම භාෂණයේ නිදහසට සහ සාමකාමීව විරෝධතා දැක්වීමේ නිදහසට දැඩි ලෙස බලපෑම් එල්ල කරන්නක් බවයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට බලයෙන් ඉවත් වන ලෙසට බලකරමින් ආරම්භ කෙරුණු මෙම විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය තනතුරෙන් ඉල්ලා අස් වුණා.

ඉන් අනතුරුව පුරප්පාඩු වූ ජනාධිපති තනතුර සඳහා පාර්ලිමේන්තුව තුළ සිදුකෙරුණු ඡන්ද විමසීමකදී තෝරා ගැනුණේ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහයි.

ඔහු ඊයේ උදෑසන 10.34 ට ජනාධිපති තනතුරේ දිවුරුම් දුන් අතර ඔහු ජනාධිපතිවරයා ලෙස වැඩ භාරගෙන පැය 24 ක් ගතවීමටත් මත්තෙන් මෙම ආක්‍රමණය සිදුවීම විශේෂ සිදුවීමක්.

මේ අතර, ශ්‍රී ලංකාවේ සිටින බ්‍රිතාන්‍ය මහකොමසාරි සාරා හල්ටන් ද ඊයේ ගාලුමුවදොර අරගල භූමියේ ඇති වූ උණුසුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් සටහනක් තබා තිබෙනවා.

ඇය සිය නිල ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් පවසන්නේ, ගාලුමුවදොර අරගල භූමියෙහි සිදුවන ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකර ඇති බවයි.

පුද්ගලයින්ට සාමකාමීව අරගල කිරීමට ඇති අයිතිය පිළිබඳ මෙහිදී අවධානයෙන් පසුවන බවයි ඇයගේ නිවේදනයේ දැක්වෙන්නේ.