අරගල භූමියට පහරදීම තරයේ හෙළා දකිනවා – නීතීඥ සංගමය

ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගාලු මුවදොර දී අරගළකරුවන්ට පහර දීම සම්බන්ධයෙන් නීතීඥවරුන් කිහිප දෙනෙකු තමන් ව දැණුම්වත් කළ බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් පවසනවා.
නීතීඥ නුවන් බෝපගේ ඇතුළු කිහිප දෙනෙකු ද මේ වන විට අත් අඩංගුවට ගෙන ඇති බව ද ඔහු සඳහන් කරයි.
ආරක්ෂක අංශ මෙම සියලු දෙනාගේ ම ආරක්ෂාව තහවුරු කළ යුතු අතර, අත් අඩංගුවට ගත් පුද්ගලයන් සිටින ස්ථානය ද දැනුම්වත් කළ යුතු බවත් සාලිය පීරිස්ගේ නිවේදනයේ සඳහන්.
මේ අතර, තමන් පොලිස්පතිවරයා සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ අතර, යුද හමුදාපතිවරයාට පණිවිඩයක් යවා මේ පිළිබඳ දැනුම්වත් කළ බව යි එම නිවේදනයෙන් ප්‍රකාශ වන්නේ.
අනවශ්‍ය ලෙස බලය යොදා ගැනීමෙන් මෙරට පිළිබඳ ජාත්‍යන්තරය තුළ ඇති ප්‍රතිරූපය වර්ධනය නො වන බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය අවසාන වශයෙන් අවධාරණය කරනවා.
මේ අතර, නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස්, සිය ෆේස්බුක් ගිණුමේ තවත් සටහනක් තබමින් ප්‍රකාශ කරන්නේ, ගාලු මුවදොර අරගළකරුවන්ට කළ පහර දීම තරයේ හෙළා දකින බවයි.
සාලිය පීරිස් සිය නිල ෆේස්බුක් ගිණුමේ පළ කළ සම්පූර්ණ සටහන පහතින්,
ජනාධිපති ලේකම් කාර්යාලය අවට ගාලු මුවදොරහී සිටි විරෝධතාකරුවන්ට ඊයේ රාත්‍රියේ බලධාරින් විසින් බලහත්කාරී හා ප්‍රචණ්ඩකාරී ලෙස පහර දීම ශ්‍රී ලංකා නීතීඥ සංගමය තරයේ හෙළා දකියි.
ගාලු මුවදොරට පිවිසෙන මාර්ග අවහිර කරමින් හමුදා නිලධාරීන් සහ පොලිසිය සිය ගණනක් මහජනතාවට එම ප්‍රදේශයට ඇතුළුවීම වළක්වා ඇති බව පෙනෙන්නට තිබේ.
එම ප්‍රදේශයට ඇතුළුවීමට උත්සාහ කළ නීතීඥවරුන් කිහිප දෙනෙකුම බලධාරින් විසින් වළකා ඇත.
තම වෘත්තීය මට්ටමින් මැදිහත් වීමට උත්සාහ කළ නීතීඥවරුන් අවම වශයෙන් දෙදෙනෙකුට හමුදා නිලධාරීන් විසින් පහර දී ඇති බවට ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙත දන්වා ඇත.
නිරායුධ සිවිල් වැසියන්ට ආරක්ෂක අංශ විසින් පහර දෙන අයුරු ද වීඩියෝ දර්ශනවල දැක්වේ.
අවම වශයෙන් එක් නීතීඥයෙකු සහ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ඇතුළු පිරිසක් ත්‍රිවිධ හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙත තොරතුරු ලැබී ඇත.
සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් සන්නද්ධ හමුදාවන් විසින් සිදු කරන මෙම ක්‍රියාවන් වහාම නතර කරන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉල්ලා සිටී.
නීතියේ ආධිපත්‍යයට සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් වලට ගරු කරන බවට සහතික වන ලෙසට ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සහ ඔහුගේ රජයෙන් ඉල්ලා සිටී.
නව ජනාධිපතිවරයා බලයට පත් වූ පළමු දිනයේදීම සිවිල් විරෝධතා මැඩපැවැත්වීම සඳහා සන්නද්ධ හමුදාවන් යොදා ගැනීම අපේ රටේ සමාජ, ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වයට බරපතල ප්‍රතිවිපාක ගෙන දෙනු ඇත.
මෙම සිද්ධීන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත්, ඊට සම්බන්ධ සියලුම පුද්ගලයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉල්ලා සිටී.
මෙම ක්‍රියාවන්ට නියෝග දුන් අය ඇතුළුව සම්බන්ධ වූ සියලු දෙනා ඒ සම්බන්ධයෙන් වගකීම ගතයුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මතයයි.


