කුසල්ගේ ශල්‍යකර්මයට මුදල් නොගෙවීම සම්බන්ධයෙන් සජිත්ගෙන් නිවේදනයක්

මාස 08ක පමණ කාලයක සිට ආබාධයකට ලක්ව ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටින කුසල් ජනිත් පෙරේරාගේ උරහිසෙ සිදු කළ යුතු ශල්‍යකර්මය සඳහා ගෙවිය යුතු සම්පූර්ණ මුදල ලබාදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
විපක්ෂ නායකවරයා සිය නිල ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් පෙන්වා දෙන්නේ, දේශපාලනඥයින්ට හා නිලධාරින්ට විදේශ සංචාර සඳහා වැය කිරීමට සහ අනුග්‍රහය දැක්වීමට මුදල් ඇති බවත්, රටට වටිනාකමක් දුන් ක්‍රීඩකයින්ගේ සෞඛ්‍යාරක්ෂණය වෙනුවෙන් වියදම් කිරීමට ඔවුන් මැලි වීම ප්රශ්නකාරී බවයි.
මෙවැනි නාස්තිකාරී වියදම් කපා හැරියහොත්, රටට වැඩදායි ක්‍රිකට් ක්‍රීඩකයින්ට ඔවුන්ට අවශ්‍ය අවස්ථාවලදී අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරින්ට හැකියාව ලැබෙන බව ද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
කුසල්ගේ ශල්‍යකර්මය එංගලන්තයේදී සිදු කළ යුතු බව වෛද්‍ය නිර්දේශය වී තිබෙන අතර ඒ අනුව අදාළ කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා දැනුවත් කිරීමටයි කුසල් විසින් පියවර ගෙන ඇත්තේ.
ශල්‍යකර්මය වෙනුවෙන් වැයවන සම්පූර්ණ මුදල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පියවන්නේ ද යන්න ගැන කුසල් එහිදී විමසා ඇති අතර එහිදී ඔහුට දැනුම්දී ඇත්තේ රක්ෂණාවරණයෙන් ලැබෙන මුදල පමණක් ලබාදෙන බවත් වැයවන ඉතිරි මුදල් සියල්ල කුසල් විසින් දැරිය යුතු බවටයි.
එහිදී රක්ෂණාවරණයෙන් කොපමණ මුදලක් ලැබෙන්නේ ද යන්න සම්බන්ධයෙන් ක්‍රිකට් බලධාරීන් විසින් කුසල් දැනුවත් කර නැහැ.
මෙලෙසින් කුසල්ගේ ශල්‍යකර්මය සිදු කිරීම දිගින් දිගටම ප්‍රමාද වෙද්දී එළඹෙන ලෝක කුසලාන පන්දුවාර 20 තරගාවලිය සඳහා ද ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත වී තිබෙනවා.
කෙසේවෙතත් කුසල්ගේ මීළග බලාපොරොත්තුව වී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා සමගින් සාකච්ඡා කර මෙම ගැටළුවට විසඳුමක් ලබාගැනීමයි.
ගෙවුණු කාලයේ අතිවිශාල ධනස්කන්ධයක් විවිධ වූ සමාජ සුබසාධන කටයුතු වෙනුවෙන් අත දිගහැර වියදම් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් කුසල්ගේ ශල්‍යකර්මය වෙනුවෙන් මුදල් වියදම් කරන්නට මෙතරම් මැලිවන්නේ කුමන කරුණක් මත ද යන්න ඇත්තේ ප්‍රශ්නාර්ථයක්.


