අද සිට පාසල් ඇරඹෙයි

අද සිට පාසල් ඇරඹෙයි

පවතින ඉන්ධන අර්බුදයත් සමඟ මතුව ඇති ප්‍රවාහන දුෂ්කරතා සැලකිල්ලට ගෙන සති කිහිපයක් නිවාඩු ලබා දී තිබූ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් අද (25) සුපුරුදු පරිදි පාසල් ආරම්භ කෙරෙනවා.

එමෙන්ම 2022 පාසල් වර්ෂයේ පළමු වාරය සැප්තැම්බර් 7 වනදා දක්වා දීර්ඝ කෙරෙන අතර, දෙවන සහ තුන්වන වාර පැවැත්වෙන කාලවකවානු සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම්දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා සඳහන් කළා.

පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සංශෝධිත විෂය නිර්දේශ ලබාදීමට කටයුතු කෙරෙන අතර, අද සිට ඊට අදාළව ඉගැන්වීම් කටයුතු සිදුකළ යුතු වෙනවා.

එසේම පළමු වාර පරීක්ෂණ පැවැත්වෙන්නේ නැහැ.

ඒ අනුව අද සිට නැවත දැනුම් දෙනතුරු සතියේ සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දින තුන පමණක් සාමාන්‍ය වේලාවන්හිදී පාසල් පැවැත්විය යුතු අතර, එලෙස පාසල් නොපැවැත්වෙන බදාදා සහ සිකුරාදා දිනවල දරුවන්ට නිවෙස්පාදක ඉගෙනුම් ක්‍රියාකාරකම් ලබාදීම හෝ මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් සිදුකළ යුතුයි.

මේ අතර, පාසල් ළමයින් ප්‍රවාහනය කරන බස් හා වෑන් රථ සඳහා පෙරේදා (23) පස්වරු 3 සිට දිවයින පුරා පිහිටි සියලු ලංගම ඩිපෝ මගින් ඉන්ධන සපයා ගැනීමට අවස්ථාව සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රවාහන අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබුණා.

ඒ, ඉන්ධන ගැටලුව සහ එහි ඉදිරි පියවර පිළිබඳව (23) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.

මේ අතර, දකුණු පළාත් සභාවට අයත් රජයේ පාසල් අද (25) සිට සතියේ දින 05ම පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම පළාත් සභාවට අයත් සියලුම රජයේ පාසල් අද සිට සතියේ දින 05 පුරාවටම පැවැත්වෙනු ඇති.

COMMENTS