සම කැබිනට් ප්‍රකාශක ධූරය අහෝසි කරයි – ජනපති රනිල් ඇමතිවරුන් ගැන දැඩි තීරණයක

සම කැබිනට් ප්‍රකාශක ධූරය අහෝසි කරයි – ජනපති රනිල් ඇමතිවරුන් ගැන දැඩි තීරණයක

ඉදිරියේදී පවත්වන අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දී දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශකවරයෙකු පමණක් සිටින අතර සම කැබිනට් ප්‍රකාශකවරුන් නොසිටින බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, අද (ජූලි 26) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

“සම කැබිනට් ප්‍රකාශකවරුන් වෙනුවට විශාල වශයෙන් සාකච්ඡා වූ යම් විෂය කරුණක්, ජනතාවගේ ජීවිතවලට බලපාන කරුණු සම්බන්ධයෙන් ඒ කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කළ අමාත්‍යවරයා හෝ අමාත්‍යවරුන් ඊට පසුව එන කැබිනට් තීරණ දැනුම් දීමේ සාකච්ඡාවට පැමිණෙනවා.”

එමෙන් ම, විපක්ෂයේ සහ මහ ජනතාවගේ ගැටලුවලට පිළිතුරු ලබා දීම සඳහා සියලු ම අමාත්‍යවරුන් අනිවාර්යයෙන් ම පාර්ලිමේන්තුවේ සිටිය යුතු අතර අමාත්‍යවරුන්ට යොමු වන ප්‍රශ්න සඳහා සභා නායකවරයා පිළිතුරු නොදී විෂය භාර අමාත්‍යවරයා ම පමණක් ඊට පිළිතුරු ලබා දෙන ලෙසට ඊයේ (ජූලි 25) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිහ කැබිනට් අමාත්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි ද ගුණවර්ධන‍ මහතා පැවසීය.

“ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ මහ ජනයාගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම ඒ නිශ්චිත කාල පරිච්ඡේදය තුළ ස්ථාවර නියෝගයන්ට අනුකූලව උසස් විනයවත් පාර්ලිමේන්තුවක් පවත්වා ගෙන යාමට ආණ්ඩු පක්ෂය පූර්ණ ලෙස කැපවිය යුතු බව ජනාධිපතිතුමා විසින් දැනුම් දුන්නා.” යනුවෙන් පැවසීය.