හදිසි නීතියේදී ආණ්ඩුවේ ස්වාධීන කණ්ඩායම් අතර බෙදිල්ලක්

හදිසි නීතියේදී ආණ්ඩුවේ ස්වාධීන කණ්ඩායම් අතර බෙදිල්ලක්

හදිසි නීතිය පැනවීමට අදාලව ඊයේ (27) පාර්ලිමේන්තුවේ ඡන්දය විමසීමේදී ආණ්ඩුවෙන් ස්වාධීන වූ කණ්ඩායම් අතර බරපතල බෙදීම් දක්නට ලැබිණි.

ඒ අනුව ස්වාධීන වූ, පොහොට්ටුවේ පක්ෂ 10 නියෝජනය කළ මන්ත්‍රීවරුන්ගෙන් හදිසි නීතියට පක්ෂව විමල් වීරවංස සහ ඔහුගේ පක්ෂයේ මන්ත්‍රීවරු සිව්දෙනා, ජාතික කෝන්ග්‍රසයේ නායක ඒ.එල්.එම් අතාවුල්ලා, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංග නවරත්න සහ මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග ඡන්දය ලබා දී ඇති අතර ආණ්ඩුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම සමඟ සිටි මන්ත්‍රී ප්‍රෙමනාත් සී දොලවත්තද හදිසි නීතියට පක්ෂව ඡන්දය ලබා දී ඇත.

එහෙත් ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ සමග සිටි අතුරුලියේ රතන හිමි, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ වාසුදේව නානායක්කාර, කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කළ වීරසුම වීරසිංහ, ලංකා සම සමාජ පක්ෂයේ නායක තිස්ස විතාරන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිසත් ගෙවිඳු කුමාරතුංග, පිවිතුරු හෙළ උරුමයේ උදය ගම්මන්පිල ඇතුළු මන්ත්‍රීවරු කිසිවෙකුත් පාර්ලිමේන්තුවේ මෙම ඡන්ද විමසන අවස්ථාවට සහභාගීවී නොමැත.

ඊට අමතරව තවත් මන්ත්‍රීවරු 35 දෙනෙකු අද දින ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිට නැත.

එමෙන්ම පොහොට්ටු පක්ෂයෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරු දස දෙනාගෙන් වසන්ත යාපා බණ්ඩාර, උදයන කිරිඳිගොඩ යන මන්ත්‍රීවරු හදිසි නීතියට විරුද්ධව ඡන්දය ලබා දී ඇත.

පොහොට්ටු පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල් පීරිස් සහ එම පක්ෂයේ මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා, නාලක ගොඩහේවා යන මන්ත්‍රීවරුන්ද ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ හදිසි නීතියට විරුද්ධවයි.

එම පිරිසට අමතරව පසුගියදා පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ බවට ප්‍රකාශ කළ මන්ත්‍රීවරු අතරින් ජෝන් සෙනෙවිරත්න, නිමල් ලාන්සා, රොෂාන් රණසිංහ, ජයරත්න හේරත් යන මන්ත්‍රීවරු හදිසි නීතියට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබිණි.