පාර්ලිමේන්තුව වාර අවසාන කෙරේ

පාර්ලිමේන්තුව වාර අවසාන කෙරේ

ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාර අවසාන කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ මීළග වාරය ආරම්භය අගෝස්තු මස 3 වනදා පෙරවරු 10.30 බවයි එම ගැසට් නිවේදනය මගින් ප්‍රකාශකර ඇත්තේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙලෙස පාර්ලිමේන්තුව වාරඅවසාන කර තිබෙනවා.

9 වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ආරම්භ කරමින් එදින රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති.

9 වන පාර්ලිමේන්තුවේ පළමු වාරය 2020 වසරේ අගෝස්තු මස 20 වනදා ආරම්භ වූ අතර එහි වාර අවසාන කෙරුණේ 2021 වසරේ දෙසැම්බර් 12 වනදා නිකුත් කෙරුණු අති විශේෂ ගැසට් නිවේදනයක් මගින්.

ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිට වාර අවසාන කෙරෙන දෙවන වාරය ආරම්භ කෙරුණේ මෙම වසරේ ජනවාරි 18 වනදායි.