IMF සාකච්ඡාවල ප්‍රගතිය ගැන මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවති සාකච්ඡාවල ප්‍රගතිය ගැන මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා බලධාරීන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උපදේශකවරුන් සමග එක්ව ණයහිමියන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ එකඟතාවකට පැමිණීමට කටයුතු කරමින් සිටින බව මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවති සාකච්ජාවල ප්‍රගතිය ඇතුළත් කරමින්, එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ ණයහිමියන් සමග විධිමත්ව කටයුතු ආරම්භ කිරීමට පෙර ණය මෙහෙයුම සඳහාවූ විශ්ලේෂණාත්මක රාමුව සමඟ ණය උපදේශකයන් සැළකිය යුතු ප්‍රගතියක් ලබාගෙන ඇති බවයි.
සියලු පාර්ශවකරුවන් වෙත සාධාරණ හා තිරසාර ප්‍රතිඵල ළඟාකරගත හැකි පුළුල් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් ඇති කරගැනීමට රජය සිය ණයහිමියන් සමග සද්භාවයෙන් කටයුතු කිරීමට බැඳී සිටින බව ද එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

