9 වැනි පාර්ලිමේන්තුවේ තුන් වැනි සැසිය අද

නව වැනි පාර්ලිමේන්තුවේ තුන් වැනි සභා වාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (03) ආරම්භ වනවා.
ඊට අදාළ පෙරහුරුවක්ද ඊයේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්වුණා.
අද උදෑසන 9.30ට ආරධිත අමුත්තන්ගේ පැමිණීම සිදු වන අතර, එහි දී පළමුවෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද අනතුරුව කථානායකවරයා සහ අග්‍රාමාත්‍යවරයාද පැමිණීමට නියමිතයි.
ඉන් අනතුරුවයි ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තිය සිදුවන්නේ.
නව සභා වාර ආරම්භය චාම් අයුරින් සංවිධාන කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අනුව ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලි නො පැවැත්වෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළා.
ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා පාර්ලිමේන්තුව ඉදිරිපිට දී ත්‍රිවිධ හමුදා උත්තමාචාර පිරිනැමෙන අතර, එම අවස්ථාවේ ජාතික ධජය පමණක් එසවීමටයි සැලසුම් කර ඇත්තේ.
කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක විසින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැටපෙළ අසල දී ජනාධිපතිවරයා පිළිගැනීමට නියමිත යි.
අනතුරුව පැළඳුම් කාමරයට පැමිණෙන ජනාධිපතිවරයා උදෑසන 10.25 තෙක් එහි රැඳී සිට සම්ප්‍රදායට අනුව සභාගර්භයට පැමිණෙනු ඇති.
සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනවා.

