ඉදිරි මාස 06ත් අමාරුයි – ජනපති

ඉදිරි මාස 06ත් අමාරුයි – ජනපති

පැරණි ආර්ථික මොඩලය තවදුරටත් භාවිතා කළ නොහැකි අතර නව්‍ය ලෙස සිතමින් ගෝලීය වෙනස්වීම් පිළිබඳ කඩිනම් අවධානය යොමු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අද(05) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ පර්යේෂණ වාර්තා එළිදැක්වීමේ සහ විද්වත් කථිකාවේ ආරාධිත දේශනය සිදු කරමින්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) යෝජනා හොද හෝ නරක වුව ද, කවුරුන් කැමති හෝ අකමැති වුවද රට මුහුණදී ඇති ආර්ථික අර්බුදයෙන් නැවත නැගිසිටීමට නම් එය ක්‍රියාත්මක කළ යුතු බවයි එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

එසේම ඒ සඳහා යම් පාර්ශ්වයක් විරුද්ධ වන්නේ නම් ඊට ඔවුන්ගේ යෝජනා මොනවාදැයි ප්‍රශ්න කිරීමට රජයට අයිතියක් ඇති බව ද ජනාධිපතිවරයා එහිදී වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

එසේම, IMF සමඟ ගිවිසුමක් ඇති කර ගත යුතු අතර වඩාත්ම වැදගත් වන්නේ තිරසර ණයක් ලබා ගැනීම බවත් ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා සමුළුව අමතමින් වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ මෙම ණය ලබා ගැනීම පිළිබඳ යමෙකුට යෝජනා තිබේ නම් එය පහසු වනු ඇති බවත් එම යෝජනාවලට ඇහුම්කන් දිය යුතු අතර, එසේම පාර්ලිමේන්තුවට එම යෝජනා පිළිබඳ තීරණයක් ගත හැකි බවත්ය.

ඉදිරි මාස 06 තුලදීත් අපට දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවනවා බවත් ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්වන ජනකොටස් කෙරෙහි අවධානය යොමුකළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද පිළිගන්නා බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.