හදිසි නීතිය නැවත නැවතත් භාවිතා කිරීම එක්සත් ජාතීන් හෙළා දකී

ශ්‍රී ලංකාවේ විරෝධතා මර්දනය කිරීම සඳහා හදිසි නීතිය නැවත නැවත භාවිත කිරීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් හෙළාදැක තිබේ.
ඔවුන් කියා සිටින්නේ , සාමකාමී විරෝධතාකරුවන් මර්දනය කිරීමට සහ රටේ ආර්ථික කඩා වැටීමක් මධ්‍යයේ ඔවුන්ගේ දුක්ගැනවිලි ප්‍රකාශ කිරීම වැළැක්වීමට ශ්‍රී ලංකා බලධාරීන් විසින් 2022 අප්‍රේල් 2 සිට හදිසි නීතිය නැවත නැවතත් භාවිත කරමින් සිටින බවයි.
හදිසි නීති ක්‍රියාමාර්ග අවභාවිත කිරීම සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදීම ශ්‍රී ලංකා රජයට කනස්සල්ල යොමු කළ නමුත් ඉන් පලක් නොවූ බවත් සාමකාමීව රැස්වීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝණය කිරීම හෙළා දකින බවත් විශේෂඥයින් අවධාරණය කර තිබේ.
වසර ගණනාවක් තිස්සේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් විසින් ලේඛනගත කරන ලද ශ්‍රී ලංකාවේ හදිසි බලතල දීර්ඝ කාලීනව අනිසි ලෙස භාවිත කිරීම සැලකිල්ලට ගනිමින්, එවැනි බලතලවල බලපෑම සහ ඉලක්කගත වාර්තා පිළිබඳව විශේෂඥයෝ විශේෂ අවධානයක් යොමු කර තිබේ.
මානව හිමිකම් විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙම හදිසි නීතිය යටතේ සුළුතර කණ්ඩායම් අවදානමට ලක්විය හැකි බවයි.
ජාත්‍යන්තර නීතිය යටතේ හදිසි අවස්ථා බලතල භාවිත කිරීම සඳහා වූ ක්‍රියා පටිපාටි අවශ්‍යතා සපුරා නොමැති බව ද ජාත්‍යන්තර විශේෂඥයින් අවධාරණය කළේ ය.

