චීන නැවට එන්න අවසර දී ඇත්තේ ඇමැතිටත් නොදන්වා – හිටපු ජනපති

චීනයේ යුවාන් වෑන්ග් 5 පර්යේෂණ නෞකාවට හම්බන්තොට වරායට පැමිණිම සඳහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් අනුමැතිය ලබා දී ඇත්තේ විදේශ අමාත්‍යවරයා පවා දැනුවත් කිරීමෙන් තොරව බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පාර්ලිමේන්තුවේදී පවසා සිටියා.
ඒ අනුව රටවල් අතර අර්බූදයක් ඇතිවන මට්ටමට මෙම ප්රශ්නය දුරදිග යෑම සම්බන්ධයෙන් විදේශ අමාත්‍යංශයේ නිලධාරීන් වගකිව යුතු බවයි හිටපු ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ.
මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ඉල්ලා ඇත්තේ පසුගිය ජුනි මස 28 වැනිදා යි.
ඒ අනුව එම නෞකාව ට ජූලි 12 වැනිදා හම්බන්තොට වරායට සේවා පහසුකම් ලබා ගැනීම සඳහා ඇතුළු වීමට විදේශ කටයුතු අමාත්‍යාංශය අවසර ලබා දී තිබෙනවා.
කෙසේ වෙතත් එම අවසර නිකුත් කිරීම පිළිබඳව විදේශ අමාත්‍යවරයා දැනුම්වත් කර නැහැ.
ඒ ලද අවසරය අනුව මෙම නෞකාව ශ්‍රී ලංකාව බලා චීනයෙන් පිටත්ව ඇති අතර ඉන්දියාවෙන් එල්ල වන පීඩනය හමුවේ විදේශ කටයුතු අමාත්‍යංශය නැවතත් මෙම පර්යේෂණ නෞකාවට හම්බන්තොට වරායට පැමිණීම දින කිහිපයකින් කල් දමන ලෙස පවසා ඇත්තේ එය දියත් කර දින 24 ක් මුහුදේ යාත්‍රා කිරීමෙන් ද පසුව බවයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ.
කෙසේ වෙතත් කලින් ලද අවසරය අනුව සැලසුම් කර සිදුකෙරුණු මෙම නාවික ගමන අනුව හෙට දිනයේ දී අදාළ නෞකාව හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව තිබුනා.
කෙසේ වෙතත් ලබන 15 වැනි දා දක්වා හම්බන්තොට වරායට ඇතුළු වීමෙන් වළකින ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය අදාළ නෞකාව ට සිදුකළ දැනුම්දීම සමගින් එහි පර්යේෂණ කටයුතු සහ සේවා කටයුතුවල යෙදෙන 2000කට ආසන්න පිරිසකට ආහාර සහ ජලය පවා අහිමි වීමේ අවදානමක් ඇති බවයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද පාර්ලිමේන්තුවේ දී පවසා සිටියා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ මේ වන විටත් මෙරට ස්ථාපිත කර ඇති විදේශ තානාපති කාර්යාල කිහිපයක් ම ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් රටවල් කිහිපයක් සලකා බලමින් පසුවන බවයි.
කෙසේ වෙතත් එලෙස ඉවත් කර ගන්නා තානාපති කාර්යාල හෝ රටවල් හෙළිදරව් කිරීමෙන් හිටපු ජනාධිපතිවරයා වැළකී සිටියා.

