චීන නැවේ ප්‍රශ්නය පිටුපසත් බැසිල් ඉන්නවා – ඩිව් ගුණසේකර

මතභේදයට තුඩු දී ඇති චීන නෞකාව සම්බන්ධයෙන් අමෙරිකාව හා ඉන්දියාව මැදිහත්වීම පිටුපස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් ද සිටින බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ඩිව් ගුණසේකර හෙළි කළේ ය.
එම චීන නෞකාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මැදිහත්වී චීනයේ හොඳ හිත පළුදු නොවන ආකාරයේ ක්‍රියාමාර්ගයකට එළඹිය යුතු බව ද ඩිව් ගුණසේකර පැවසීය.
චීනය හා ශ්‍රී ලංකාව අතර ප්‍රශ්නයක් තිබේ නම් එය එම රටවල් දෙක විසඳාගත යුතු බව ද ඊට තවත් පාර්ශ්වයක් මැදිහත්වීමේ කිසිදු අවශ්‍යතාවක් නැති බව ද ශ්‍රී ලංකාව රටක් ලෙස කටයුතු කළ යුත්තේ නොබැඳි පිළිවෙතකට අනුව බව ද ඩිව් ගුණසේකර මහතා කීය.
මෙම ප්‍රශ්නය තවදුරටත් දික්ගැස්සීම වෙනුවෙන් අමෙරිකාව හා ඉන්දියාවට කේලම් කියන පිරිසක් ද මෙරට තුළ සිටින බව ත් ඔවුන්ගේ ක්‍රියා කලාප දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින බව ත් මෙවැනි රාජ්‍යතාන්ත්‍රික ගැටලුවලදී එසමයෙහි ලක්ෂ්මන් කදිරගාමර් මහතා කටයුතු කළ ආකාරයෙන්, වත්මන් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා කටයුතු කළ යුතු බව ත් ඩිව් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ ය.

