ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ළදරු පවුඩර් ලොව පුරා නිෂ්පාදනය සහ විකිණීම නවත්වයි

ටැල්ක් මත පදනම් වූ ළදරු පවුඩර් ලොව පුරා නිෂ්පාදනය කිරීම සහ විකිණීම ලබන වසරේ සිට නවතා දමන බව ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම පවසයි.
විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ, ලොව දැවැන්ත ඖෂධ සහ විලවුන් නිෂ්පාදන සමාගමක් වන ජොන්සන් ඇන්ඩ් ජොන්සන්, එක්සත් ජනපදයේ එම නිෂ්පාදන අලෙවිය අවසන් කර වසර දෙකකට වැඩි කාලයකට පසුව මේ බව නිවේදනය කර ඇති බව ය.
ජොන්සන් ඇන්ඩ් ජොන්සන් විසින් නිෂ්පාදනය කරනු ලබන ටැල්කම් පවුඩර්වල, ඇස්බැස්ටෝස් අඩංගු වීම හේතුවෙන් ඩිම්බ කෝෂ ආශ්‍රිතව පිළිකා ඇති කළ බවට චෝදනා කරන කාන්තාවන් පැවරූ දස දහස් ගණනක නඩුවලට එම සමාගම මුහුණ දෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.
කෙසේ වෙතත්, දශක ගණනාවක් පුරා සිදු කර ඇති ස්වාධීන පර්යේෂණ මගින් එම නිෂ්පාදනය භාවිත කිරීම ආරක්ෂිත බව පෙන්නුම් කරන්නේ යැයි සමාගම සිය මතය නැවත අවධාරණය කර තිබේ.
ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ලෝක ව්‍යාප්තව සිදු කරන ද පර්යේෂණවල තක්සේරුවක කොටසක් ලෙස, සිය ළදරු පවුඩර් නිෂ්පාදන, ඉරිඟු පිෂ්ඨය මත පදනම්ව සිදු කිරීමට වාණිජමය තීරණයක් ගෙන ඇති බව ය.
ඒ අනුව, එහි ප්‍රතිඵලයක් ලෙස ටැල්ක් මත පදනම්ව සිදු කරන ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ළදරු පවුඩර් නිෂ්පාදනය 2023 වසරේදී ගෝලීය වශයෙන් නවතා දමන බව එම සමාගම අදාළ නිවේදනයේ සඳහන් කර ඇත.
ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම නිකුත් කළ නිවේදනය:- https://bit.ly/3BZuwDO

