චීන නැවට එන්න දෙන්න – ස්වාධීන පක්ෂ එකමුතුව

මතභේදයට තුඩු දී ඇති චීනයේ යුවාන් වැන්ග් – 5 පර්යේෂණ නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් වහාම සිදුකළ යුතු බව හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වන ආචාර්ය දයාන් ජයතිලක ප්‍රකාශ කළා.
ඒ සඳහා විශේෂ නියෝජිතයෙකු වහාම චීනයට සහ ඉන්දියාවට ගොස් දෙපාර්ශ්වයට පිළිගත හැකි අතරමැදි විසඳුමකට එළැඹීම අත්‍යවශ්‍ය බවයි ඔහු පෙන්වා දෙන්නේ.
චීනයේ – යුවාන් වැන්ග් – 5 පර්යේෂණ නෞකාව පිළිබඳව පසුගිය දින කිහිපය තුළදීම වාර්තා පළ වූ අතර එය ඊයේ පෙරවරු 9යි 30ට හම්බන්තොට වරායට ළඟාවීමට නියමිත බවටයි ඉන්දීය එන්.ඩී.ටී.වී. පුවත් සේවය වාර්තා කර තිබුණේ.
මේ අතර, ස්වාධීන පක්ෂ එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අදාළ නෞකාවට හම්බන්තොට වරායට ඇතුළුවීමට අවසර ලබාදිය යුතු බවයි.
මෙම නිවේදනයට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ඇතුලු ස්වාධීන කණ්ඩායමේ නියෝජිතයින් අටදෙනෙකු අත්සන් තබා තිබෙනවා.
මේ අතර චීනයේ නිෂ්පාදිත පාකිස්ථාන යුද නෞකාවක්ද අද කොළඹ වරායට සේන්දුවීමට නියමිත බවට වාර්තා වෙනවා.

