සරත් වීරසේකරට අතට අත දෙන්න කපිතාන් බැහැ කිව්වද ?

පසුගිය සති කිහිපය පුරා දැඩි කතාබහට ලක් වූ චීන යුවාන් වැන්ග් – 5 පර්යේෂණ නෞකාව අද (16) උදෑසන හම්බන්තොට වරායට ළඟා වුණා.
උදෑසන 08ට පමණ අදාළ නෞකාව වරාය පරිශ්‍රයට ළඟා වූ අතර, ටග් යාත්‍රා යොදා ගනිමින් එය ජැටිය වෙත රැගෙන ඒමට යි කටයුතු කළේ.
යුවාන් වැන්ග් – 5 පර්යේෂණ නෞකාව පිළිගැනීම සදහා කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය විශේෂ උත්සවයක් ද සංවිධානය කර තිබුණා.
ඊට මෙරට චීන තානාපතිවරයා ඇතුළු පිරිසක් ද එක් ව සිටි අතර, මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන සරත් වීරසේකර, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර හා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ද එක් ව සිටීම විශේෂත්වයක්.
එම අවස්ථාවේ සිදු වූ විශේෂ සිදුවීමක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍යය තුළ බරපතළ ලෙස කතාබහට ලක් වෙනවා.
කොවිඩ් රෝගය තවමත් ලෝකයෙන් තුරන් වී නැති මොහොතක දී නෞකාවෙන් ගොඩ බසින චීන කපිතාන්වරයාට හිටපු අමාත්‍ය සරත් වීරසේකර අතට අත දීමට සූදානම් වන්නේ, මුව ආවරණයක් හෝ නොමැතිව යි.
එම අතට අත දීම නො පිළිගත් කපිතාන්වරයා, සරත් වීරසේකර ඇතුළු පිරිසට සිය අත ඔසවා පොදුවේ ආචාර කිරීමට එම අවස්ථාවේ දී පියවර ගත්තා.
මීට අමතර ව ශ්‍රී ලංකාවේ චීන මහ කොමසාරිස්වරයා ද කපිතාන්වරයාට අතට අත දුන්නත් ඔහුගේ ආචාරය ද කපිතාන්වරයා පිළිගෙන නැහැ.
කොමසාරිස්වරයා මුව ආවරණයක් පැලඳ සිටියත් දෑත් ස්පර්ශ කිරීම නුසුදුසු යැයි කපිතාන්වරයා සිතුවා විය හැකි යි.
කෙසේ වෙතත් උත්සවය අවස්ථාවට සහභාගි වූ අය අතරෙන් සියලු දෙනා ම පාහේ මුව ආවරණ පැලඳ සිටියත් හිටපු අමාත්‍ය සරත් වීරසේකර මුව ආවරණය පැලඳ නො සිටීම මේ වනවිට දැඩි ලෙස කතා බහට ලක් වී තිබෙනවා.


