ජාතික සත්ත්වයා ඉවත් කිරීමට ගත් තීරණය ඇමති හකුළා ගනී

ජාතික සත්ත්වයා ඉවත් කිරීමට ගත් තීරණය ඇමති හකුළා ගනී

මෙරට ගොවිතැනට බරපතළ ලෙස හානි කරනු ලබන සත්වයින් හඳුනාගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ වනජීවී අමාත්‍යංශයේ ලේකම්වරුන් දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටු නිර්දේශ අනුව එලෙස බරපතළ ලෙස ගොවිතැනට හානි කරනු ලබන සතුන් ගනනාවක ගේ නම් ඉදිරිපත් වී තිබුණා.

ඒ අතර රිලවා,වඳුරා,ඉත්තෑවා,වල් ඌරා, මොණරා, සහ ජාතික සත්වයා ලෙස නම් කර ඇති දඬු ලේනාගේ නම ද තිබීම හේතුවෙන් මෙම සතුන් පාලනයට හෝ මර්ධනයට ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගැටලූකාරී තත්ත්වයක් ඉස්මතු වූ බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර සිටියේ.

ඒ අනුව ඔහු සඳහන් කළේ කෘෂිකර්මය රැක ගැනීමේ අරමුණෙන් මේ වනවිට ජාතික සත්වයා ලෙස නම් කර ඇති දඩුලේනාගේ එම තත්ත්වය ඉවත් කිරීමට වුවද තමන් පසුබට නොවන බවයි.

ඒ අනුව දඬු ලේනාගේ ක්‍රියාකලාපය එම සත්ත්වයා හට ලබාදී තිබුණු ගෞරවනීය තත්ත්වය අහිමි කරන පසුබිමක් මතුවුනා.

කෙසේ වෙතත් ඊයේ (15) නැවතත් මාධ්‍ය වෙත අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ දඩුලේනා ජාතික සත්වයා ලෙස තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කර ඇති බවයි.

එම තීරණය සම්බන්ධයෙන් බරපතල විවේචන එල්ල වූ බවත් එවන් තත්ත්වයක් යටතේ අනවශ්‍ය අර්බුද මතු කර ගැනීම මේ මොහොතේ සුදුසු නොවන බවත් ඔහු මාධ්‍ය හමුවේ වැඩිදුරටත් කියා සිටියා.