මම වියදම් කරන්නේ මගේ පෞද්ගලික මුදල් – ගෝඨාභය

මම වියදම් කරන්නේ මගේ පෞද්ගලික මුදල් – ගෝඨාභය

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විදේශයන් හිදී කරන කිසිදු වියදමක් සඳහා රජයේ මුදල් වැය නොකරන බව රජය පවසනවා.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එබඳු සියලු වියදම් හිටපු ජනාධිපතිතුමාගේ පෞද්ගලික මුදලින් දරනු ලබන බවයි.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ඊයේ (16) පැවති මාධ්‍ය හමුවේදී හිටපු ජනාධිපතිවරයාගේ එතෙර වියදම් ගැන මාධ්‍යවේදීන් කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධනගෙන් ප්‍රශ්න කර තිබුණා.

එහිදී බන්දුල ගුණවර්ධන දැක්වූ අදහස්,

ප්‍රශ්නය:- අපේ හිටපු ජනාධිපති තුමා සිංගපූරුවේ ඉඳලා නැවත තායිලන්තයේ බැංකොක් නුවර දක්වා ගමන් කළා. එහිදී ඔහු පාවිච්චි කළේ, පෞද්ගලික ගුවන් යානයක්. මේ සඳහා මුදල් ගෙවලා තියෙන්නේ ලංකා රජයෙන්. ජනතාවගේ බදු මුදල්. මේ වරප්‍රසාද යටතේ ද ඔහු තවමත් ජීවත් වෙන්නේ?

පිළිතුර:- ඔව්. මොකද ලංකාවේ ජනාධිපතිවරණ පනතට අනුව රටේ හිටපු ජනාධිපතිවරයාත් ඉන්න ජනාධිපතිවරයාටත් හිමි වරදාන වරප්‍රසාද පිළිබඳ නීතිමය විධි විධාන තිබෙනවා. හිටපු ජනාධිපතිවරයෙක් අභාවප්‍රප්ත වීමෙන් පසු ආර්‍යාවටත් එවැනි ආරක්ෂාව සැලසීම පිළිබඳ මගේ දැනීමේ හැටියට වගකීමක් තිබෙනවා. දිවංගත ජනතිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව ලෙස හේමා ප්‍රේමදාස මැතිණියට ඒ අයිතිවාසිකම් සහ වරප්‍රසාද ලබා දීලා තිබෙන බවට තමයි මගේ සාමාන්‍ය දැනීම. මට ඒ පිළිබඳව තවදුරට ත් විස්තරාත්මකව බලන්නත් පුළුවන් ඉදිරියේදී. යනුවෙන්

මේ අතර හිටපු සහ වත්මන් ජනාධිපතිවරුන්ට නීතියෙන්ම ඇතැම් වරප්‍රසාද හිමි බවට ඊට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන කළ සඳහන හිටපු ජනාධිපතිවරයාගේ එතෙර වියදම් සඳහා රජය මුදල් වැය කරන බව ඇඟවෙන අයුරින් ඇතැම් මාධ්‍ය විසින් වාර්තා කර තිබුණු බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙනවා.

ඒ අනුව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, තමාගේ එතෙර වියදම් ගැන ඇතැම් මාධ්‍ය පළකර ඇති වාර්තා වැරදි බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුම් දී ඇති බවයි.

එම සියලු වියදම් සඳහා වැය කරනුයේ සිය පෞද්ගලික මුදල් බව ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කළ බවද අදාළ නිවේදනයේ දැක්වෙනවා.