රොකට් යවපු රාජකීය පුත්තු තෙල්වලිනුත් ගසා කනවාදැයි සැකයි – පාඨලී චම්පික

ඉදිරි කාලයට අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණය ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත් පැය 10ක පමණ විදුලි කප්පාදුවකට යාමට සිදුවනු ඇතැයි 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ගල් අඟුරු ගොඩබෑම කළ හැක්කේ සීමා සහිත කාලයකදී පමණක් බැවින් මෙම මස අග සිට ලබන අප්‍රේල් දක්වා ගල් අඟුරු ටොන් විසිපන් ලක්ෂයක් බාගත යුතු බවත්, එසේ නොකළහොත් ඩීසල් බලාගාර වැඩි වශයෙන් ක්‍රියාත්මක කරවීමට සිදුවී වියදම් අධික විය හැකි බවත් පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.
පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ 43 වැනි සේනාංකය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.
මේ අතර ශ්‍රී ලංකාවට ඉන්ධන ගෙන්වීමේදී දැවැන්ත වංචාවක් සිදුවන බවට සැකයක් ඇතිවී තිබෙන බවත් වහාම මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව විසින් හෝ විමර්ශනය කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අතීතයේ රොකට් යවන බව කියමින් ලංකා විදුලිබල මණ්ඩලයට කෝටි 49 ක් වංචා කළ රාජකීය පුතුන් වර්තමානයේ තෙල්වලටත් අත තියා ගසා කනවාද යන සැකය මතුවී ඇතැයි ද මන්ත්‍රීවරයා කීය.
මාධ්‍ය හමුවේදී පාඨලී චම්පික වැඩි දුරටත් දැක්වූ අදහස්,
මේ ගැන කප් ගහපු අය ගල් අඟුරු ගෙන්නලා මේ රටට දෙදාස් දොළහේ නැව් පහක් ගෙන්නලා ඒ හරහා රොකට් යවනවා කියලා ලංකා විදුලිබල මණ්ඩලයට කෝටි හතලිස් නමයක් වංචා කරපු කල්ලි කණ්ඩායම් රාජකීය පුත්තු අද මේ රටේ තෙල් එකටත් අත තියලා මේ රටේ ජනතාව මේ අස්සෙත් ගසා කනවාද කියන සැකය මතුවෙලා තියෙනවා. ඒක නිසා මේ පිළිබඳ විවෘත නොවුනොත් මේ රටේ මහජනතාවගේ නැවත නැගී හිටීමක් වළක්වන්න බෑ. ඒ නිසා දැන්වත් මේ පවුල මේ රට හූරන් කන එකෙන්, මේ රටේ පවුල් පනස් පන් ලක්ෂයක් පාරට ඇදලා දාලා දැන්වත් මේකෙන් ඉවත් වෙලා ඉන්න හිත හදාගෙන නෑ. ඒකේ පාපය අද අපට, අපේ ජනතාවට නැවත නැවතත් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේ ගැන විවෘත භාවයක් අවශ්‍යයි.කෝප් කමිටුව හෝ පාර්ලිමේන්තු කමිටුවක් ඉදිරියට කැඳවලා මේ පිළිබඳ මූලික විමර්ශනයකින් පස්සේ මේ පිළිබඳව අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා” යනුවෙන් පැවසීය.

