වැඩ කරනවා නම් වැඩ කරන්න, බැරි නම් ගෙදර යන්න – ජනපති

වැඩ කරනවා නම් වැඩ කරන්න, බැරි නම් ගෙදර යන්න – ජනපති

වැඩකළ නොහැකි සියලුදෙනාට රාජ්‍ය සේවයෙන් ඉවත් වන ලෙස තමා දැනුම් දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර ඇත්තේ අද (21) අනුරාධපුර ගෝල්ඩන් මැන්ගෝ උත්සව ශාලාවේ පැවති අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන සභාව අමතමිනි.

මේ අතර රට වෙනුවෙන් සියලුදෙනා ඒකරාශී කර ගැනීම තම අරමුණ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පවසා තිබේ.

නැවත එක්සත් ජාතික පක්ෂයට එක්වන ලෙස තමා කිසිවෙකුට නොපවසන නමුත් රට ගොඩනැගීමට නොපමාව එක්වන්නැයි සියලුදෙනාට ආරාධනා කරන බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සොයා බැලීම සහ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීමට කැඳවා තිබු එම හමුවට එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජන කරන පළාත් මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියා.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“විශේෂයෙන්ම අපේ කෘෂිකර්මයෙන් අපි ආරම්භ කරමු. මේ වැඩ කටයුත්ත කරන කොට ඔබ සියලුදෙනාටත් විශේෂයෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ටත් වැඩසටහනක් තියෙනවා. මොකද්ද වෙන්නේ, මොකද්ද අඩුපාඩුකම් තමන්ගේ මන්ත්‍රීවරුන්ට දැනුම්දෙන්න. ඒ අය ඇවිත් පාර්ලිමේන්තුවේ දැනුම්දෙනවා. අපිට පුළුවන් එකට එකතුවෙලා ඒ වැඩසටහන කරන්න. වෙනත් බෝග වගාකරන්න පුළුවන් නම් ආධාර උපකාර ඕනේ නම් කරන්න. මං හිතන්නේ ගම් මට්ටමේ නිලධාරීන් 9 දෙනෙක් ඉන්නවා. ඒ අය වගා කළොත් ඇති නේ. තව මුකුත් ඕනේ නෑ. අපි ඒ අයට තමන්ගේ ග්‍රාම නිලධාරී කොට්ඨාශය බෙදලා හැමකෙනාටම කොටසක් වගා කරන්න කියනවා. වැඩ කරනවා නම් වැඩ කරන්න. බැරි නම් ගෙදර යන්න. අපි නිකන් ගෙවන්න ලෑස්ති නෑ. ඒක දිසා ලේකම්තුමාට බලාගන්න වෙයි ප්‍රාදේශීය ලේකම්වරු එක්ක. කාටවත් නිකන් කන්න බෑ. මොකක් හරි කරන්න ඕනේ. මොකද අපි ගෙවන්නේ. මටත් නිකන් කන්න බෑ. මොකක් හරි කරන්න ඕනේ. මම මේක දියුණු කළේ නැත්නම් මටත් යන්න වෙනවා. ඉස්සෙල්ලා ගමෙන් පටන් ගමු.” යනුවෙන් පැවසීය.