හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වෙයි

නව වන පාර්ලිමේන්තුවේ තෙවන සභාවාරයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් අද (23) පවත්වා තිබේ.
ස්ථාවර නියෝග 121 ප්රකාරව පසුගිය දා තේරීම් කාරක සභාව විසින් ගනු ලැබූ ඒකමතික තීරණයකට අනුව පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙම කාරක සභාවේ සභාපතිත්වයට පත් කර ඇත.
ඒ අනුව, 2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධන කිරීම සඳහා වූ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත කාරක සභාවේදී සලකාබලා ඇති අතර ඒ සඳහා අනුමැතිය හිමි වී තිබේ.
එමෙන් ම, සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත ද කාරක සභාව විසින් සලකා බලා අනුමත කරනු ලැබ ඇත.
ඊට අමතරව කාරක සභාවට ඉදිරිපත් කර තිබූ 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නියෝග සඳහා ද 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් සඳහා සහ රේගු ආඥා පනත (235 වන අධිකාරිය) යටතේ යෝජනා සම්මතයන් සඳහා ද කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබේ.

