අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම් ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ, උද්ඝෝෂණ සහ විරෝධතා සඳහා සහභාගී වූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම සම්බන්ධයෙන් සිය අවධානය යොමුවී ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් අදාළ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශ කරන්නේ, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යනු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට සහ දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමට විධායකයට ප්‍රතිපාදන සපයන කුරිරු නීතියක් බවයි.
තව ද, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ ‘ත්‍රස්තවාදය’ පිළිබඳ පැහැදිලි නිර්වචනයක් නො මැති බව තුළ, නීත්‍යානුකූල විසම්මුතිය ප්‍රකාශ කිරීම යටපත් කිරීමටත්, සාමකාමී භාෂණයේ සහ ප්රකාශනයේ නිදහස ඇතුළු ප්රජාතන්ත්රවාදී අයිතීන් ක්‍රියාත්මක කරන පුද්ගලයින් ඉලක්ක කර ගැනීම සඳහාත් එය අනිසි ලෙස භාවිතා කිරීමේ බරපතල අනතුරක් පවතින බවත් එම සංගමය කියා සිටිනවා.
මේ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීමෙන් වළකින ලෙසත්, තම නිවේදනයේ සඳහන් පරිදි නිකුත් කර ඇති රැඳවුම් නියෝග වහා ම අවලංගු කරන ලෙසත් නීතිඥ සංගමය ජනාධිපතිවරයාගෙන් සහ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

