රන්ජන් හෙට හෝ සඳුදා නිදහස් – හරීන් ප්‍රනාන්දු

රන්ජන් හෙට හෝ සඳුදා නිදහස් – හරීන් ප්‍රනාන්දු

රන්ජන් රාමනායක මහතා හෙට(26) හෝ සදුදා (29) හෝ නිදහස ලබන බවට තමා දැඩි ලෙස විශ්වාස කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

රන්ජන් රාමනායක මහතාට නිදහස ලබා දුන් ජනපතිට ස්තුතිය ප්‍රකාශ කරමින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා හරීන් ප්‍රනාන්දු මෙසේ සඳහන් කර තිබුණා.

“මා හිතවත් දේශපාලන සගයා, රන්ජන් අයියා හෙට(26) හෝ සදුදා (29) නිදහස ලබන බව මට දැඩිසේ විශ්වාසයි.මගේ සහ මනූෂ ගේ ඉල්ලීම ඉටුකළ ජනපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහ සුව්ශේෂී මෙහෙවරක් ඉටුකල අධිකරණ අමාත්‍ය ව්ජේදාස රාජපක්ෂ මැතිතුමා ඇතුළු සහය දුන් සැමට ස්තුතියි” යනුවෙන් හරීන් ප්‍රනාන්දු සටහනක් තබා තිබේ.

මේ අතර අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුව සිර දඬුවම් ලබන රන්ජන් රාමනායක දිවුරුම් ප්‍රකාශයක් යොමු කරමින් අධිකරණයෙන් අද (25) සමාව අයැද සිට තිබේ.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පළමු නඩුවට හා දෙවන නඩුවට අදාළව අධිකරණයෙන් මෙසේ සමාව ඉල්ලා සිටින බව එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වේ.

තමන් සිදුකළ ප්‍රකාශ සම්පූර්ණයෙන් වැරදි බවත් එම ප්‍රකාශය නිසා අගවිනිසුරු ඇතුළු නීති ක්ෂේත්‍රයේ සියලු දෙනාට අගෞරවයක් ඇතිවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවත් එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර ඇත.

තමා විසින් සිදු කරන ලද ප්‍රකාශ අසත්‍ය බවත් එම ප්‍රකාශ ඉල්ලා අස්කර ගන්නා බවටත් ඉදිරියේදී මෙවැනි ප්‍රකාශ සිදු නොකරන බවටත් ඔහු අධිකරණයට ලබා දුන් දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර තිබේ.

2017 අගෝස්තු 21 වන දා අරලිය ගහ මන්දිරයෙන් පිටත සිදු කළ ප්‍රකාශයට පළමු නඩුව ගොනු කරමින් 2021 ජනවාරි 12 වන දින ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර හතරක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කරනු ලැබිණි.

පළමු ප්‍රකාශය ඉවත් කර නොගන්නා බවට අධිකරණ භූමියේදී සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙවන නඩුව ගොනු කර තිබිණි.