සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදෙන්නේ නෑ – එස්.බී. දිසානායක

සර්ව පාක්ෂික ආණ්ඩුවක් හෝ බහු පාක්ෂික ආණ්ඩුවක් සදා ගැනීමට හැකි නම් එය ඉතා හොඳ තත්ත්වයක් වන නමුත් මෙරට දේශපාලන සංස්කෘතිය අනුව එය සිදුවන බවක් ගැන විශ්වාසයක් තැබිය නොහැකි අතර, දැන් කිරීමට සිදුව ඇත්තේ එහෙන් මෙහෙන් අමුණාගත් රජයක් සෑදීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.
ඒ, අද (25) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
තවදුරටත් අති බහුතරයක පාර්ලිමේන්තු බලය මෙන්ම ගම් මට්ටමේ වැඩි ජනතා බලයක් ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මේ මොහොතේ පවතින තත්ත්වය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වඩා බටහිරට ආමන්ත්‍රණය කළ හැකි නායකත්වයක් ඉදිරියට ගෙන ඒමේ විකල්පය පැවති හෙයින් ඒ සඳහා සුදුසුම පුද්ගලයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කර ගැනීමට කටයුතු කළ බව පවසා සිටියා,
පසුගිය මැතිවරණයෙන් ඔහුට ජන පදනමක් සාදා ගැනීමට නොහැකි වුවත් අගමැතිවරයා ලෙස කටයුතු කරගත් අත්දැකීම් සම්භාරයක් මෙන්ම දැක්මක් වික්‍රමසිංහ මහතා සතුව තිබෙන බවත් දැනටමත් ඔහු එඩිතර තීන්දු ගනිමින් සිටින බව දිසානායක ප්‍රකාශ කළේය.
මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැතිධූරයට පත්කර ගැනීමට හෝ මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට ගෙන ඒමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීන්දුවක් ගෙන නොමැති අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට ද එවැනි වුවමනාවක් නොමැති බවයි ඔහු ප්‍රකාශ කළේ.

