ශ්‍රී ලාංකිකයන් අතර වඩාත් ආදාර ගෞරවයට පාත්‍ර වූ ඇත් රජුට මොකද වෙන්නේ ?

ශ්‍රී ලාංකිකයන් අතර වඩාත් ආදාර ගෞරවයට පාත්‍ර වූ ඇත් රජුට මොකද වෙන්නේ ?

මහනුවර ඇසළ මංගල්‍යයේ පෙරහර කරඬුව වැඩම කරවූ ‘‘නැදුන්ගමුවේ රාජා” හස්ති රාජයා දෙස් විදෙස් ගෞරවාදරයට පාත්‍ර වූ සද්ධන්ත කුලයේ පූජනීය වස්තුවක්.

නැදුන්ගමුවේ රාජා 2006 වසරේ සිට 2021 දක්වා අවස්ථා 12කදීම මහනුවර ඇසළ මංගල්‍යයේ පෙරහර කරඬුව වැඩම කරවීමට භාග්‍ය උදාකර ගත් හස්ති රාජයායි.

ආසියාවේ උසම හස්තියා ලෙස විරුදාවලීය ලත් නැදුන්ගමුවේ රාජා මීට හය මසකට ඉහත දී මෙළොවින් සමුගැනීමත් සමඟ හස්තියාගේ සිරුර අනාගත මතු පරපුරට ජීවමානව දැකගත හැකි වන අයුරින් සංරක්ෂණය කිරීමටයි තීරණය කෙරුණේ.

කෙසේ නමුත් මේ වනවිට එම සංරක්ෂණ කටයුතු යම් පසුබෑමකට ලක්ව ඇති බව වාර්තා වෙනවා.

එසේ වීමට ප්‍රධාන හේතුවක් ලෙස දැක්වෙන්නේ නැදුන්ගමුවේ රාජාගේ සිරුර සංරක්ෂණය කර තැබීම සඳහා සුදුසු ස්ථානයක් නොමැතිවීමයි.

2022 මාර්තු 7 වැනිදා උදෑසන වැලිවේරිය රතුපස්වල පිහිටි ධර්ම විජය වෙද මහතාගේ නිවෙස් පරිශ්‍රයේදී රාජා හස්තියා මිය යන්නේ වසර 69ක් ආයු වැළදීමෙන් පසුවයි.

ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් මෙම හස්තියාගේ සිරුර සංරක්ෂණය කරන බවට පොරොන්දුවක් ද ලබා දුන්නේ ඒ අතරතුරයි.

එමෙන්ම එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නැදුන්ගමුවේ රාජා හස්තියා ජාතික වස්තුවක් ලෙස නම් කළ අතර අනාගත පරපුරට දැක ගැනීම සඳහා හස්ති රාජයාගේ සිරුර සංරක්ෂණය කරන ලෙසට ද බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට උපදෙස් ලබා දුන්නා.

ඉන්අනතුරුව රාජ හස්තියාගේ සිරුර සංරක්ෂණ කටයුතු සඳහා යොමු කෙරුණේ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ සත්ත්ව විද්‍යා අංශයටයි.

විශේෂ අවධානයකින් එම හස්තියාගේ සිරුර මිහිදන් කෙරුණේ එම සිරුර සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාව ද අනුවයි.

14 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යටතේ නැදුන්ගමුවේ රාජාගේ සංරක්ෂණ කටයුතු එලෙස ආරම්භ කෙරුණත් අද වනවිට එම කටයුත්ත මන්දගාමී වී ඇති බවටයි අපට තොරතුරු වාර්තා වුණේ.

මෙරට ඇතෙකු ප්‍රථම වරට සංරක්ෂණය කෙරුණේ 1988 වසරේදීයි. ඒ දළදා මාළිගාවේ රාජා හස්තියායි.

එය ආසියාවේ ප්‍රථම වතාවට හස්ති රාජයෙකුගේ සිරුර සංරක්ෂණය කළ අවස්ථාව ලෙස ඉතිහාසගත වනවා.

පෙරහර කරඬුව දරමින් දස දහස් ගණනකගේ වන්දනාවට පාත්‍ර වූ නැඳුන්ගමුවේ රාජා පිළිබඳ මතකය වියැකී යාමට ඉඩදීම ජාතික අපරාධයක් බවට විවාදයක් නැහැ.

දෙනෝ දාහකගේ වන්දනා මානයට පාත්‍ර වූ මේ සද්ධන්ත පින්වන්තයාගේ නාමය සේම රූපය ද අනාගත පරපුර වෙත ඉතිරි කරදීමට කැපවීම වත්මන් පරපුරේ සියලුදෙනාගේ වගකීමක්.