වමේ පක්ෂ සමඟ සන්ධාන ගත වී ස්ථිර ආණ්ඩුවක් හදනවා – මෛත්‍රී

වමේ පක්ෂ සමඟ සන්ධාන ගත වී ස්ථිර ආණ්ඩුවක් හදනවා –  මෛත්‍රී

ඉදිරියේදී වමේ පක්ෂ සමඟ සන්ධාන ගත වී ස්ථිර ආණ්ඩුවක් බිහි කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ල.නි.ප. නායක හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

අද පවතින ප්‍රශ්න විසඳීමේ හැකියාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතු බව ද ඔහු අවධාරණය කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහරගම ආසනයේ ක්‍රියාකාරීන්ගේ හමුවට ඊයේ (28) එක්වෙමින් හෙතෙම මේ බව කීය.

මේ ආණ්ඩුව අදට ත් පාලනය කරනුයේ පොහොට්ටුවේ නායකයන් බවට හිටපු ජනපති චෝදනා කළේ ය.

බහුතර බලයක් සහිත පිරිස් සර්වපාක්ෂික ආණ්ඩුවක් ස්ථාපිත කිරීමේ තීරණයට විරුද්ධ බවත් ඔහු පැවසීය.

ඔවුන් එසේ විරෝධය පළ කරන්නේ ඒ තුළින් ඔවුන් සතු බලය ගිලිහී ගොස් අවැසි පරිදි සෙල්ලම් කිරීමට නොහැකි වන නිසා බවත් හෙතෙම සඳහන් කළේ ය.

සමහර පිරිස් ආණ්ඩුවට එක් වී පක්ෂයේ අනුමැතිය සහිතව එසේ කළ බව පැවසුව ද අද වනතුරු කිසිවෙකුට ශ්‍රීල.නි.ප.ය ආණ්ඩුවට එක් වීම සඳහා අනුමැතිය ලබා දී නැතැයි ද ඔහු අවධාරණය කළේ ය.

ඔවුන් ඒ සම්බන්ධයෙන් පවසන සියල්ල පට්ට පල් බොරු බව ද හෙතෙම කීය.

අමාත්‍යවරු තිස් දෙනෙකු හා රාජ්‍ය අමාත්‍යවරුන හතළිස් දෙනෙකුගෙන් යුත් නව කැබිනට් මණ්ඩලයක් පත් කරන බව පැවසුව ද තමන් එයට එකඟ නොවන බව ද හිටපු ජනපතිවරයා වැඩි දුරටත් පැවසීය.