දූෂණ හොර මැරකම් වලට සම්බන්ධ අයට ඇමතිකම් දෙන්න එපා – වෙල්ගම

දූෂණ හොර මැරකම් වලට සම්බන්ධ අයට ඇමතිකම් දෙන්න එපා – වෙල්ගම

දූෂිතයින්, මැරයන්, කොල්ලකරුවන් හෝ මහජන මුදල් විනාශ කළ බවට චෝදනාවන්ට ලක්වූවන් නැවත අමාත්‍ය මණ්ඩලයට පත් කිරීම සම්බන්ධයෙන් ජනතාවගෙන් බහුතරය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතරය ද විරුද්ධ බව නව ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින්.

ජනතාවගේ විරෝධය ලක්වූවන් අමාත්‍ය මණ්ඩලයට නැවත පත් කරන ලෙස ජනාධිපතිවරයාට බලපෑම් ඇති බවට මාධ්‍ය මගින් ප්‍රචාරය වෙමින් පවතින අතර මෙය කුමක් හෝ බරපතල කුමන්ත්‍රණයක් විය හැකි බවයි කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා සිහිපත් කළේ.

නීතියේ ආධිපත්‍ය තහවුරු කරමින් කුමන තරාතිරමක හෝ වැරදිකරුවන්ට කඩිනමින් දඬුවම් ලබාදීමද ජනතාවගේ අපේක්ෂාවක් බවයි එහි දැක්වෙන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 එක ආ අනු ව්‍යවස්ථාවට අනුව මේ මොහොතේ පාර්ලිමේන්තුවේත් ජනතාවගේත් බහුතර ප්‍රසාදය සහිත අමාත්‍ය මණ්ඩලයක් දේශපාලන පක්ෂ නො තකා පත් කර ගැනීම ඔබගේ අයිතිය මෙන් ම වගකීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියෙන් සිහිපත් කර තිබෙනවා.

අමාත්‍ය මණ්ඩලයට ඇතුළු නොවී පාර්ලිමේන්තු අනුකමිටු සභාපති පදවි පමණක් භාර ගන්නා බවට කිසියම් දේශපාලන පක්ෂයක් ප්‍රකාශ කරන්නේ නම් එම පදවි සඳහා හිමි අමාත්‍ය වරප්‍රසාද නොගෙන ස්වේච්ඡාවෙන් ම සේවය කළ යුතු බවට ඔවුන්ට ද ප්‍රකාශ කළ යුතු බවයි කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා සිය ලිපියෙන් ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ.

COMMENTS