ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 71යි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 71යි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 71 වැනි සංවත්සරය අදට යෙදී තිබේ.

ඒ වෙනුවෙන් සාංවත්සරික සමුළුව අද පස්වරු 1.30 ට ජාතික තරුණ සේවා සභාවේදී පැවැත්වෙන්නේ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

අපේකමට පණ දෙමු – අභියෝගය අතට ගමු – යුග මෙහෙවරට උර දෙමු යන්න මෙවර එහි තේමාව වී තිබෙනවා.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ මූලිකත්වයෙන් 1951 වසරේ අද වැනි දිනක පිහිට වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැලකෙන්නේ මැද මාවතේ දේශපාලන පක්ෂයක් ලෙසයි.

පක්ෂය පිහිටුවා වසර පහක් ඇවෑමෙන් රටේ පාලන බලය ලබා ගැනීමට තරම් ප්‍රබල ජන බලවේගයක් ගොඩ නැගීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැකිවූයේ මහජන එක්සත් පෙරමුණේ ද සහය ලබා ගනිමිනි.

ඒ අනුව 1956 වසරේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේග එක්රැස් කරමින් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා මෙරට සිව්වන ආග්‍රාමාත්‍යවරයා ලෙස අණ්ඩු බලය අත්පත් කර ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සන්ධානය වටා ජනතාව එක් රැස් කර ගනිමිනි.

එතුමාගේ පාලන සමයේදී බහු ජාතික සමාගම් යටතේ තිබූ ව්‍යාපාර හා ආර්ථික මර්මස්ථාන ජනසතු කෙරුණු අතර සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස පත් කෙරිණි.

එතැන් සිට මේ දක්වා වාමාංශික පක්ෂ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව වසර 30 කට අධික කාලයක් මෙරට රාජ්‍ය බලය හෙබවිය.

විධායක ජනාධිපති ක්‍රමය පිහිටුවීමෙන් පසු ජනාධිපතිවරුන් දෙදෙනෙකු බිහි කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැකි වූ අතර එම ජනාධිපතිවරුන් දෙදෙනා වසර 21 ක් ධුරය හෙබවීමට සමත් විය.

ඩොමිනීයන් තත්ත්වයෙන් මිදී මෙරට ජනරජයක් බවට පත් කිරීමේ ගෞරවය හිමිවන්නේ ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවකටයි.

එමෙන්ම ලොව ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ද වසර 41 ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය ලබා දුන්නා ය.

දේශපාලන කරලියේ විවිධ භූමිකාවන් නිරූපණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙරට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ ක්‍රමය ප්‍රවර්ධනයට සුවිශේෂී දායකත්වයක් දැක්වූ දේශපාලන පක්ෂයකි.