ඉන්දියාවට බැට දුන් සිංහයන් අවසන් දොරටුව අබියසට

ඉන්දියාවට බැට දුන් සිංහයන් අවසන් දොරටුව අබියසට

ආසියානු කුසලාන පන්දුවාර 20/20 ක්‍රිකට් තරඟාවලියේ ඉන්දියාව සමඟ ඊයේ (06) පැවති තරඟයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 6ක විශිෂ්ට ජයක් හිමිවිය.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 8ක් දැවී ලකුණු 173ක් ලබා ගත්තේය.

ලකුණු 174 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5 ක් අවසානයේ දී කඩුලු 4ක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය.

ඒ අනුව ආසියානු කුසලානය සුපිරි සිව් දෙනාගේ වටේ ශ්‍රී ලංකාව පෙරමුණේ රැඳී සිටී.

මෙම තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය පිල පන්දුවාර 20 තුළ කඩුළු 8ක් දැවී ලකුණු 173ක් රැස්කර ගැනීමට සමත් විය.

ඉන්දීය පිල වෙනුවෙන් නායක රෝහිත් ශර්මා ලකුණු 72ක් ලබාගැනීමට සමත් විය.

ඔහුගේ එම ලකුණු සංඛ්‍යාවට දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 5ක් ද ඇතුළත් වේ.

රෝහිත් ශර්මාට අමතරව සූර්ය කුමාර් යාදේව් ලකුණු 34ක් ලබාගත්තේය.

හර්ඩික් පාණ්ඩයා ලකුණු 17යි. රිෂාබ් පෑන්ට් ලකුණු 17යි.

පන්දු යැවීමේදී ඩිල්ෂාන් මධුසංඛ කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය.

නායක දසුන් ශානක කඩුළු 2යි. චාමික කරුණාරත්න කඩුළු 2යි. මහේෂ් තීක්ෂණ එක් කඩුල්ලයි.

අනතුරුව පිටියට පැමිණි ශ්‍රී ලංකා පිල පන්දුවාර 19යි පන්දු 5කදි කඩුළු 4ක් පමණක් දැවී සිටියදී ලකුණු 174ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 57ක් රැස්කර ගැනීමට සමත් විය.

පැතුම් නිශ්ශංක ලකුණු 52ක් ලබාගැනීමට සමත් විය. ඊට අමතරව භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 25 ලබාගත්තේය.

නායක දසුන් ශානක නොදැවී ලකුණු 33යි. ඒ අනුව ශ්‍රී ලංකා පිලට කඩුළු 6ක ජයක් හිමිවිය.

තරඟයේ වීරයා සම්මානය ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානක විසින් දිනා ගනු ලැබීය.