පින්බර බිනර පොහොය අදයි

භික්ෂූණි ශාසනය ආරම්භවීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ බිනර පුන් පොහෝ දිනය අදට යෙදී තිබේ.
ලොවපුරා බෞද්ධ ජනතාව අද (10) ඒ වෙනුවෙන් දිනය පුරා ආමිස හා ප්‍රතිපත්ති පූජාවල නිරත වේ.
වස් සමයේ අතරමැදි පොහොය ලෙසද මෙය සැලකේ.
සියලු ශ්‍රී ලාංකිකයන්ට මෙම උතුම් පොහොය දිනය වැදගත් වන්නේ, “තපස්සු – භල්ලුක” වෙළෙඳ දෙබෑයන් විසින් ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද; “ගිරිහඬු සෑය” ඉදිකිරීමේ කටයුතු ද, බුදුන් වහන්සේගේ “ලලාට ධාතු” තැන්පත් කර ඇති “සේරුවාවිල මංගල මහා සෑය” ඉදිකිරීමේ කටයුතු හා එහි වාර්ෂික පින්කම පවත්වන්නේද මෙම උතුම් පොහෝ දිනයේදී වීම නිසාය.
එමෙන්ම කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තාවන් 500ක් සසුනට එක්වූයේද බිනර පෝය දිනක වීම විශේෂත්වයකි.
අෂ්ඨ ගරු ධර්ම බුදුන්වහන්සේගෙන් විමසා ආනන්ද හිමියන් විසින් එය මහා ප්‍රජාපතිගෝතමී දේවියට පහදා දීමෙන් පසුව ගරුධර්ම ආරක්ෂා කරන බවට ප්‍රතිඥා ලබාදුන්නේද අදවන් දිනකදීය.
බිනර පොහෝ දිනය නිමිත්තෙන් දිවයිනපුරා වෙහෙර විහාරස්ථානවල ආගමික වැඩසටහන් සංවිධානය කර තිබේ.

