පක්ෂපාතීත්වයෙන්, ගෞරවයෙන් සහ ආදරයෙන් සේවය කරන බවට චාල්ස් දිවුරුම් දෙයි

පක්ෂපාතීත්වයෙන්, ගෞරවයෙන් සහ ආදරයෙන් සේවය කරන බවට චාල්ස් දිවුරුම් දෙයි

දෙවන එලිසබෙත් මහ රැජිණගේ අභාවයෙන් පසු නව රජු ලෙස නම් කළ ඇයගේ වැඩිමහල් පුතු වන තුන්වන චාල්ස් රජු ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගයේ සිට ලන්ඩන් වෙත ඊයේ පැමිණියා.

තුන්වන චාල්ස් රජු ජාතිය අමතමින් ඊයේ සඳහන් කළේ පක්ෂපාතීත්වයෙන්, ගෞරවයෙන් සහ ආදරයෙන් එක්සත් රාජධානියේ ජනතාවට සේවය කරන බවයි.

ලන්ඩනයේ ශාන්ත පාවුළු ආසන දෙව් මැදුරේදී පළමුවරට චාල්ස් රජු ජනතාව ඇමතීම සිදුකළ අතර ඒ සඳහා ජ්‍යෙෂ්ඨ දේශපාලකයින් මෙන්ම 2,000කට අධික ජනතාවක් සහභාගී වී ඇති බව වාර්තා වේ.

එහිදී “ගෝඩ් සේව් ද කිං“ ලෙස වෙනස් කෙරුණු එංගලන්ත ජාතික ගීය ප්‍රථම වරට වාදනය කිරීම ද එහිදී සිදුකළේය.

එ‍ලිසබෙත් රැජින වන තම මවගේ අභාවය බ්‍රිතාන්‍ය ජනතාවටත් පොදු රාජ්‍ය මණ්ඩලයීය ජනතාවටත් කනගාටුවෙන් සැලකර සිටින බව චාල්ස් රජු ප්‍රකාශ කළේය.

තම ධුර කාලය තුළදී උපරිම ශක්තියෙන් කටයුතු කිරීමටත් සුබසාධන කටයුතු වලට දායකවීමටත් අපේක්ෂා කරන බව ප්‍රකාශ කර ඇති චාල්ස් රජු ඒ සඳහා තමාට සියලුදෙනාගේ විශ්වාසයේ දෑත හිමිවනු ඇති බව පැවසීය.

තම මව වන එලිසබෙත් රැජිනගේ අපේක්ෂාවන් පළුදු නොවන ආකාරයෙන් කටයුතු කිරීමට සෑමවිටම උත්සාහ දරන බවත් තමාටත් පවුලේ සාමාජිකයින්ටත් රටේ ජනතාවටත් දැක්වූ සෙනෙහස ආදරය වෙනුවෙන් ස්තූතිවන්ත වන බවත් චාල්ස් රජු එහිදී ප්‍රකාශ කළේය.

තම පුත්‍රයා වන විලියම්, වේල්සයේ කුමරු ලෙසත් ඔහුගේ බිරිඳ කැතරින් වේල්සයේ කුමරිය ලෙසත් ප්‍රකාශයට පත් කරන බව ද තුන්වන චාල්ස් රජු සිය ජනතාව ඇමතීමේදී දැනුම් දුනි.

1926 වසරේ අප්‍රේල් 21 වනදා උපත ලැබූ එළිසබෙත් කුමරිය රාජකීය ධුරාවලියට නම් කෙරෙන්නේ ඇයට වයස අවුරුදු 10 දියි.
ඒ, ඇයගේ පියා වන හයවන ජෝර්ජ් කුමරු බ්‍රිතාන්‍යයේ රජු බවට පත්වීමත් සමඟයි.

හිරු නොබසින අධිරාජ්‍යයේ කිරුළ ඇයට විසිපස්වන වියේදී හිමිවූයේ පියාගේ අභාවයෙන් අනතුරුවයි.

එතැන් සිට දශක හතක කාලයක් බ්‍රිතාන්‍යයේ කිරුළ හෙබවූ ඇය ලොව දීර්ඝතම කාලයක් බලයේ රැඳී සිටි රාජකීයයා බවට පත්වුණා.

මේ අතර බකිංහැම් මාලිගය ඉදිරිපිටට රැස්වූ අතිවිශාල ජනකායක් රැජිණගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කරමින් පුෂ්පෝපහාර පළකරන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති අතර දේවස්ථාන ආශ්‍රිතව විවිධ වැඩසටහන් පවත්වනු ලබනවා.

එමෙන්ම, බ්‍රිතාන්‍යයේ පැවැත්වීමට සැළසුම් කර තිබූ විවිධ උත්සව සහ ක්‍රීඩා තරගාවලි ද අවලංගු කිරීමට පියවර ගෙන ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

එමෙන්ම, රැජිනට ගෞරවය පළ කරමින් ලන්ඩනයේ ස්ථාන කිහිපයක දී ආචාර වෙඩි මුර පළ කිරීම සිදු කෙරුණා.

මේ අතර දෙවන එලිසබෙත් රැජිණගේ අභාවය වෙනුවෙන් ලබන 19 වනදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කළ බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ 1952 සිට 1972 දක්වා ශ්‍රී ලංකාවේ අගරැජින ලෙස කටයුතු කළ දෙවන එළිසෙබත් රැජිනගේ අවමංගල්‍ය උත්සවය එදිනට යෙදී ඇති බැවින් රජය මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව ලබන 19 වනදා දක්වා සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙසටයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ.

https://cnn.it/3RALq0q