කපුටු ආණ්ඩුව පක්ෂපාතී අයට ඇමතිකම් ලබා දෙමින් ජනතාව රටවටමින් සිටිනවා

ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණ මුදල් ඇමති, ජනපති සහ අගමැති ඉවත්ව ගියත් මේ වන විට ඔවුන්ගේ රූකඩයක් ජනාධිපති කර පොහොට්ටු ආණ්ඩුව විසින් විවිධ තීන්දු තීරණ ගනිමින් රට විනාශ කරමින් සිටින බවත් ජනතාව දුක්විදින අවස්ථාවේත් කපුටු ආණ්ඩුව විසින් තමන්ට පක්ෂපාතී අයට ඇමතිකම් ලබා දෙමින් ඔවුන්ට විශාල වරප්‍රසාද ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
පසුගිය 11 වැනිදා පැවති සමගි ජන බලවේගයේ හලාවත ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
මේ වන විට කැබිනට් ඇමතිවරු 20ක්, රාජ්‍ය ඇමතිවරු 37ක් සහ තවත් ඇමතිවරු 12ක් ඇතුළු 69ක් පත් කර ගැනීමට නියමිත බවත් ජනවරමක් නොමැති රනිල් වික්‍රමසිංහ මහතාට මනාප 134ක් ලබා දුන් අයට කෘතගුණ දක්වන බවත් පැවසීය.
70-77 කාලේ සීනි නැතිව තේ බිව්වා වගේ මිරිස් නැතිව කෑම කෑවා වගේ මැතිණි කියන ඕන දෙයක් කරන මිනිස්සු හිටිය වගේ පොහොට්ටු ආණ්ඩුව විසින් පොහොර නැතිව වගා කරන්න පුළුවන් බවත් හාල් නැතිව බත් කන්න පුළුවන් බවත් ලයිට් නැතිව මිනිස්සු ඉවසන් ඉදීවි කියා මේ ආණ්ඩුව හිතන බවත් විපක්ෂ නායකතුමා පවසයි.
විදුලි මිල සියයට 75කින් වැඩි කර ඉන්ධන සහ ගෑස් මිල දරාගත නොහැකි රටක් බිහි කළේ චැම්පියන් කෙනෙක් බවත් ඊට පෙර හොදට තිබුණ රටට චැම්පියන් කෙනෙක් විරයෙක් සූරයෙක් ඕන බවට මිනිස්සු හිතුවත් ඒ වීරයා සූරයා ආව ගමන් ජාතිවාදය ආගම්වාදය ඇවිස්සු බවත් ද පැවසීය.
ලෝක සෞඛ්‍ය සංවිධානය කොරොනා මරණ ආදාහනය භූමදානය ගැන නිවැරදි තීන්දුව කියද්දි මේ සූරයා තමන්ගේ මතේට අනුව වැඩ කළ බවත් ඒ නිසා මිනිස්සු සාප කළ බවත් පැවසීය. නාගරාජ කෝලං බොරු කියා රටේ අසහනයක් නිර්මාණය නොවන බවට අඬබෙර ගැසූ බවත් ඒ සාපේ රටටම වැදුන බවත් අවසානයේ ජනාධිපතිවරයාට රටින් පවා යාමට සිදු වූ බවත් පැවසීය. එබැවින් පොඩි මිනිහා තලා පෙලා මේ කරන විගඩම්වලට කිසිදු ඉඩක් ලබා දිය නොහැකි බවත් ඉදිරියේ දී පොදු ජනතාවගේ ආණ්ඩුවක් බිහි කිරීමට පෙළ ගැසෙන ලෙසත් විපක්ෂ නායකතුමා වැඩි දුරටත් පැවසීය.

