දරුවන්ට කෑම නැති කරපු රටක්, ජාතික පාසලක සිසුන් දෙදෙනෙක් බුද්ධ පූජාවත් ආහාරයට අරන්

ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිර්මලා ඒකනායක මහත්මිය පාසල් සිසුන්ගේ පෝෂණය සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය පිළිබඳ දිස්ත්‍රික් ඒකාබද්ධ කමිටුවේදී අනාවරණයක් කළා.
එය දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්නගේ සභාපතිත්වයෙන් යුතුව අද රැස්වුණේ නාරාහේන්පිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීයි.
ඊට ප්‍රාදේශීය ලේකම්වරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්, කෘෂිකර්ම නිලධාරින්, අධ්‍යාපන බලධාරින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
ඇය කියා සිටියේ ජාතික පාසලකින් උසස් පෙළ සිසුන් දෙදෙනෙකු බුද්ධ පූජාව ආහාරයට ගැනීමේ සිද්ධියක් මෙන්ම දරුවන් මිරිස්කුඩු ඉස බත් ආහාරයට ගැනීමේ අවස්ථා ද වාර්තා වී ඇති බවයි.
මේ අතර වත්මන් ආර්ථික අර්බුදය හමුවේ කොළඹ දිස්ත්‍රික්කයේ එදිනෙදා ජීවනෝපාය සරිකර ගත් වැඩි පිරිසකට බලපෑම් එල්ල වී ඇති බව කොළඹ දිස්ත්‍රික් ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය පිළිබඳ දිස්ත්‍රික් ඒකාබද්ධ කමිටුවේදී අනාවරණ වුණා.
එහිදී අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උදුගොඩ කියා සිටියේ දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් සියලුදෙනා කැපවී කටයුතු කළ යුතු බවයි.
මේ අතර, හතරදෙනෙකුගෙන් යුත් සාමාන්‍ය පවුලක දෛනික ආහාර අවශ්‍යතාව සපුරාගැනීම සඳහා අවම වශයෙන් රුපියල් 2,500ක මුදලක් වැය කිරීමට සිදුවන බව හෙළිවී තිබෙනවා. ඒ, වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් වෘත්තිය සංසදය සිදුකළ නවතම සමාජ සමීක්ෂණයකින්.

