ගංජා නීතිගත කරන්න කියන්නේ, එක එක්කෙනාට ගංජා බිබී පාරේ ඇවිදින්න නෙවෙයි

කංසා නීතිගත කිරීමට තමන් කළ යෝජනාව ඇතැමුන් විකෘති කරමින් සිටින බවත් තමන් යෝජනා කළේ කංසා අපනයනය සඳහා වගාකිරීම නීතිගත කිරීමට බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසයි.
ඩයනා ගමගේ මේ බව පැවසුවේ ඊයේ (16) පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ,
“ගංජා නීතිගත කරන්න කියන්නෙ එක එක්කෙනාට ගංජා බිබී පාරේ ඇවිදින්න නෙවෙයි. ඒක තහනම්. ගංජා බිබී ඇවිදින්න තහනම්. නමුත් මෝඩ වෙන්නෙ නැතුව මේක ගූග්ල් කරලා බලන්න, ලෝකෙ අනිත් රටවල් 51ක් කංසා වලින් ඩොලර් බිලියන ගණන් හම්බකරනවා. මේ රට ගොඩදාන්න ඕනෙ. මේ ළිං මැඩි මානසිකත්වයෙන් අයින් වෙන්න. මොකද ගංජා කියන්නෙ අපේ ඉතිහාසයත් එක්ක බැඳිච්ච දෙයක්. ඒක ඒ කාලෙ රජවරු පවා … රාවණා යුගයේ ඉඳලා එන දෙයක් මේ කංසා කියන්නෙ. මේක ඖෂධයක්. මේ ඖෂධයේ ගුණය අරගෙන, අපි හරියට මේක පාවිච්චි කරලා, මේක පිටරටවල්වලට අපනයනය කරන්න ඕනෙ. මේක බෙහෙතක්. නැතුව මේක බිබී හැමතැනම ඇවිදින්න ඕනෙ කියලා කියන කතාවක් නෙවෙයි. මේක මිනිස්සු තේරුම් ගන්න ඕනෙ. තේරෙන මිනිස්සු ගොඩාක් මේ රටේ ඉන්නවා. මේක කළ යුතුයි මට ගොඩාක් සහාය දක්වන මිනිස්සු ඉන්නවා. හැබැයි ඉතිං ඔය ළිං මැඩියෝ වගේ අය තමයි කියන්නෙ ඔය ගංජා බොනවායි කියන එක. එච්චරයි ඒගොල්ලො දන්නෙ. ඉතිං පව් ඒගොල්ලො” යනුවෙන් පැවසීය.

