ජාතික සභාව හඳුන්වා දුන්නේ ආර්ථික අර්බුදය විසදීමේ සැබෑ චේතනාවෙන් නෙවෙයි

ජාතික සභාව ගෙන ආවේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේ සැබෑ චේතනාවෙන් නොව සියලු කණ්ඩායම් එකට වැඩ කරන බව ජාත්‍යන්තර ප්‍රජාවට ඒත්තු ගැන්වීමට බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසුවා.
ඔහු මේ බව සඳහන් කළේ, අද පාර්ලිමේන්තුවේ පැවැති ජාතික සභා ස්ථාපනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ දී යි.
මේ අතර මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ දී වංචා දූෂණ සම්බන්ධයෙන් සංවිධාන කිහිපයක් ලක් රජයට චෝදනා එල්ල කර ඇති බවත්, මේ ආණ්ඩුවට ජාත්‍යන්තර පිළිගැනීමක් නොමැති බවත්, ජනාධිපතිවරයාට ජනවරමක් නො මැති බවත් ඔහු පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළා.
“ආණ්ඩුව දැන් ජාතික කවුන්සිලයක් පිහිටුවා ජාත්‍යන්තර සංවිධානවලට පෙන්වා ආණ්ඩුව සියලු දේශපාලන පක්ෂ සමඟ එක්ව කටයුතු කරන බව. එම පීඩනය සමනය කිරීමට උත්සාහ කරනවා. එවැනි සභාවකට සම්බන්ධ වීමෙන් ඵලක් නැහැ. ඉතින් අපි ඒකට සම්බන්ධ වෙන්නේ නැහැ. ” යනුවෙන් ඔහු ප්‍රකාශ කළා.
තව ද, ජාතික සභාවට එක්වන ලෙස ආණ්ඩුව විපක්ෂයෙන් ඉල්ලා සිටිය ද කෝප් සහ කෝප් කමිටුවේ සභාපතිධුර විපක්ෂයට ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බව ද මන්ත්‍රීවරයා මෙහි දී පැවසුවා.
එසේ ම, විපක්ෂය දිගින් දිගට ම ඉල්ලීම් කළ ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සමඟ අත්සන් කළ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම රජය ප්‍රතික්ෂේප කර ඇති බව ද ඔහු පැවසුවා.

