රජයේ මාසික වැටුප ගෙවන්නවත් සල්ලි නෑ – ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන

රජයේ මාසික වැටුප ගෙවන්නවත් සල්ලි නෑ – ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන

මූල්‍ය අර්බුදය හේතුවෙන් මාසිකව රජයේ වැටුප් බිල ගෙවා ගන්න තරම්වත් ප්‍රමාණවත් ආදායමක් නො ලැබෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, පොල්ගහවෙල කුරුණෑගල දුම්‍රිය මාර්ගය ද්විත මාර්ගයක් බවට පත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ විමසූ ප්‍රශ්නයක පිලිතුරු දෙමින්.

පවතින ඩොලර් අර්බුදය හමුවේ දුම්රිය දෙපාර්තුමේන්තුවට අවශ්‍ය පීළි මිලදී ගැනීමට දැනට අබලි ලෙස පවතින දුම්රිය පීළි යකඩ ලෙස ජාත්‍යන්තර ටෙන්ඩරයක් කැදවා අලෙවි කර ඉන් ලැබෙන ඩොලර් නව පීළි මිලදී ගැනීමට යොදා ගන්නා බව ප්‍රවාහන,මහා මාර්ග හා ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

එහි දී ප්‍රවාහන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, රාජ්‍ය ආදායම මේ තරම් ප්‍රමාණයක් ඇන හිටීම හේතුවෙන් මේ වර්ෂයේ ගෙවිය යුතු විශාල ගෙවීම් තොගයක් මුදල් ගෙවා ගැනීමට නො හැකිව සිටින බවයි.

ඒ සඳහා නිදසුන් දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, මාර්ග සංවර්ධන අධිකාරියේ නිම වූ ව්‍යාපෘතිවලට අදාල රුපියල් බිලියන සියයකට අධික ගෙවීම් කිරීමට ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුව මූල්‍ය විනය පවත්වා ගැනීමේ කොන්දේසිය මත් මෙම ගැටලුව විසඳීම සඳහා මුදල් අච්චු ගැසීම සිදු කළ නො හැකි බව ද ඔහු මෙහි දී කියා සිටියා.