උද්දික බන්දුලට රිදෙන්න කියයි

උද්දික බන්දුලට රිදෙන්න කියයි

‘ද නිව්ස්පේපර්‘ චිත්‍රපටයේ හොඳම නළුවාට හිමි සම්මානය රුසියාවේදී ලබාගත්තේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා හෙයින් උත්සවයේ සංවිධායකයන් සහ රුසියානු ජනතාව ඔහු නළුවාගේ තාත්තා යැයි සිතන්නට ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න පාර්ලිමේන්තුවේදී අද (22 ) පැවසීය.

එම සම්මාන උළෙලට සහභාගිවීමට කුමාර තිරිමාදුර , සරත් කොතලාවල රංගන ශිල්පීන්ට නොහැකි වූයේ ගුවන් ටිකට් ලබා ගැනීමේ ගැටලුවක් නිසා බවද ඔහු සඳහන් කළේය.

ප්‍රේමරත්න මෙසේ පැවසූවේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.

උද්දික ප්‍රේමරත්න මහතා එහිදී මෙසේද සඳහන් කළේය.

‘‘චිත්‍රපටයේ ආදායම ලෙස කුමාර තිරිමාදුර මහතා රුපියල් හතළිස් ලක්ෂයක් චිත්‍රපටයේ නිෂ්පාදක වන බන්දුල ගුණවර්ධන ඇමැතිවරයාට ලබාදී තිබෙනවා. අවම වශයෙන් එම මුදලින් හෝ කුමාර තිරිමාදුරට සහ සරත් කොතලාවලට ටිකට් පත් දෙකක් අරගෙන දීමට ඇමැතිවරයා කාරුණික වුණේ නැහැ. හොඳම නළුවාට හිමි සම්මානය ගන්න රුසියාවට ගියේ ඇමැතිවරයා විතරයි. සංවිධායකයන් හිතන්න ඇති මේ එන්නේ නළුවන්ගෙ තාත්තා කියලා. ඔන්න ඔහොමයි වෙච්ච දේ.

මට මේ ගැන කරන්න තිබෙන හොඳම පැහැදිලි කිරීම තමයි ‘සොර දෙටුවෙක්” ගීතය. දංගෙඩියට ගෙන යන සොරා දංගෙඩියටත් ඇලුම් කළා කියලා ඉන් කියැවෙනවා. අපේ රටේ ඇමැතිවරුත් එහෙමයි. අනෙකාගේ සතුට දැකලා සතුට වෙන්න ඒ අය කැමති නැහැ. සම්මානය රැගෙන ආ ඇමැතිවරයා පිළිගන්න කුමාර තිරිමාදුරයි සරත් කොතලාවලයි ගුවන් තොටුපොළට ගියා. විය යුතුව තිබුණේ අනෙක් පැත්ත. සම්මානය අතැතිව සිටින ඇමැතිවරයාත් ඒ සම්මානය දෙස බලා සිටින නළුවන් දෙදෙනාගේත් ඡායාරූප පස්සේ පත්තර වල පළ වුණා. මෙරටට පැමිණි පසුවත් නියම හිමිකරුවන්ට සම්මානය ලබා දීමට ඇමැතිවරයාට හදිසියක් තිබුණේ නැහැ. යනුවෙන් පැවසීය